බ්‍රිතාන්‍ය රජ පවුලට ඉන්දීය ලේ නෑකමක්

Princess Diana with Prince William
ඡායාරූප ශීර්ෂ වැකිය, විලියම් කුමරුගේ ඉන්දීය උරුමය සනාථ වී තිබෙන්නේ මවු පාර්ශවයෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල පරීක්ෂාවෙන්

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ, පරම්පරා අටකට ඉහත මී මිත්තනිය ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

මෑතදී කළ ඩීඑන්ඒ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම තොරතුර හෙළිවී තිබෙන්නේ.

මේ අනුව බ්‍රිතාන්‍යයේ අනාගත මහා රජු, ඍජු ලෙස ඉන්දීය පරම්පරාවකට සම්බන්ධ බවයි, ඩීඑන්ඒ පර්යේෂණ පිලිබඳ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විශේෂඥ අචාර්ය ජිම් විල්සන් කියා සිටින්නේ.

"විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරියගේ මී මිත්තනිය වූ එලිසා කෙවක්, ඩයනා කුමරියගේ මී මුත්තා වූ 1788 උපන් ස්කොට් ජාතික තියොදොර් ෆොර්බස් ගේ නිවසේ ගෘහ සේවිකාව ලෙසයි සේවය කළේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"ඔහු බොම්බායට උතුරින් පිහිටි සුරට් ප්‍රදේශයේ, බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය සමාගමේ සේවය කරමින් සිටියදී ඔහුට දාව, ඇයට ලැබූ දරු දෙදෙනා පසුව ස්කොට්ලන්තයට යැවුනා. ඇයගේ දියණිය කිටී ඩයනා කුමරියගේ මිත්තණියයි."

විලියම් කුමරුගේ සමීප ඥාතීන් ගේ මුඛයෙන් ලබාගත් ඩීඑන්ඒ සංසන්දනය කිරීමෙන් පසු රජ කුමරුගේ ඉන්දීය ලේ නෑකම හෙළි කරගත් බව ආචාර්ය විල්සන් ප්‍රකාශ කරයි.

මවු පාර්ශවය ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන සුවිශේෂ ඩීඑන්ඒ වර්ගයක පැවැත්ම, විලියම් කුමරුගේ ඉන්දීය උරුමය සනාථ කිරීමට ඉවහල්වූ බව අචාර්ය ජිම් විල්සන් වැඩිදුරටත් සඳහන් කරයි.