ජපානයේ 'අභිරහස් ගෝලය' වෙරළෙන් ඉවත් කරයි
- Author, ෂයිමා කලීල්
- Role, තෝකියෝ වාර්තාකාරිනී
ජපානයේ වෙරළ තීරයකට ගොඩගැසූ ලෝහමය ගෝලය මේ වන විට ඉවත්කර ඇතිබව එරට මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම ගෝලය ප්‍රදේශවාසීන් ව්‍යාකූලතත්වයට පත්කළ අතර, අන්තර්ජාලය හරහා පැතිර යමින් බොහෝ දෙනා තුළ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළේ ය.
බර ඔසවන්නට යොදාගන්නා යන්ත්‍රයක් මඟින් මේ දැවැන්ත ගෝලය ඔසවන ආකාරය දැක්වෙන පින්තූර එරට මාධ්‍ය පළකොට තිබුණි.
ජපානයේ හමමට්සුහි ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ "නිශ්චිත කාලයක් සඳහා" ගබඩාකර තබා ගැනෙන එය පසුව "ඉවතලනබව" යි.
එහෙත් ජපාන නිලධාරීන් එය කුමක්දැ යි ප්‍රසිද්ධියේ, පැහැදිලිව ප්‍රකාශ නොකරන්නේ මන්දැ යි බොහෝදෙනා ප්‍රශ්නකර තිබේ.
මේ වන විට "ගොඩ්සිලා බිත්තරයක්", "බෝයාවක්" සහ "පිටසක්වළ වස්තුවක්" ලෙස නම් ලබා ඇති මෙම වස්තුව කෙරෙහි වන උනන්දුව ඇරඹියේ, මෙසතිය මුල දී වෙරළේ තිබූ අසාමාන්‍ය වස්තුව දුටු ප්‍රදේශවාසියෙකු ඒබව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව ය.
එම වස්තුව පරීක්ෂා කිරීම සඳහා පොලිසිය පමණක් නොව, බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් පවා යවා තිබුණි.
වස්තුව සහිත ප්‍රදේශය වටකළ බලධාරීන් එය එක්ස් කිරණ පරීක්‍ෂණවලට ද භාජනය කළ අතර, එය ආරක්ෂිත බව තහවුරු කිරීම හැර වෙන යමක් හෙළි නොකළේ ය.
මේ වන විට එය එතැනින් ඉවත්කොට තිබේ.
"මං හිතන්නෙ හමමට්සු නගරෙ හැමෝම හිටියෙ මේ මොකද්ද කියන එක ගැන බයෙන්, කුතුහලෙන්. ඒත් දැන් ඒ වැඩේ ඉවර නිසා මට සහනයක් දැනෙනවා," ප්‍රාදේශීය බලධාරියෙක් ජපාන මාධ්‍යයට පැවසුවේ ය.
ජපාන නිලධාරීන් එය කුමක් ද යන්න පැහැදිලි නොකරන්නේ මන්දැ යි සමාජ මාධ්‍ය හරහා බොහෝදෙනෙක් ප්‍රශ්න නැගූහා. ඇතැමෙක් සමස්ත සිදුවීම පිළිබඳවම ලැජ්ජාවට පත්ව සිටියහ.
"මුහුදෙන් වටවෙච්ච රටක බලධාරින්ට ගෝල බෝයාවක් අඳුරගන්න බැහැ කියන එක මට නම් විශ්වාස කරන්න බැහැ," එක් ට්විටර් පනිවුඩයක සඳහන් විය.
"දෙයියනේ දෙයියනේ! ඒක වානේ බෝයාවක් මනුස්සයිනේ. මට මං ජපනෙක් කියලා කියාගන්නත් ලැජ්ජ යි," තවෙකෙකු කීය.
එය "විදේශයක නිපදවූ බෝයාවකැ යි [ඔවුන්] සලකනබව," හමමට්සුහි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයය පැවසීය.
සමුද්‍ර විද්‍යාව සඳහා වූ ස්කොට්ලන්ත සංගමයේ සාගර විද්‍යාඥයෙකු වන මහාචාර්ය මාර්ක් ඉනෝල්, එය කුමක්දැ යි තමා "ක්ෂණිකව" වටහාගත්බව පවසයි.
"ඒක ලේසියෙන් අඳුනගන්න පුළුවන්," ඔහු බීබීසීය සමග ප්‍රකාශ කළේ ය. "අපි [ඒවා] පාවිච්චි කරන්නේ මුහුදේ දී උපකරණ පාකරලා තියාගන්න."
ඒවා නිතර ස්කොට්ලන්ත වෙරළට ගසාගෙන එනබව ද ඔහු සඳහන් කළේ ය.
ලෝහ ගෝලය කුමක් ද යන්න ඉක්මනින් හඳුනානොගැනීම පිළිබඳව තමා පුදුමයට පත්වීයැ යි මහාචාර්ය ඉනෝල් පවසතත්, සාමාන්‍ය ජනතාව එය කුමක්දැ යි නොදැන සිටීම ද සාමාන්‍ය බව ඔහු පිළිගත්තේ ය.
"ඒක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ බිම් බෝම්බයක් කියලා වරදවා වටහාගන්න පුළුවන්... නමුත් එහෙම බෝම්බවල පිටතට නෙරපූ උල් තියෙනව," ඔහු ප්‍රකාශ කළේ ය.
වස්තූන් දශක ගණනක් තිස්සේ සාගරයේ පාවෙමින් පැවතිය හැකිබවත්, ඒවා වෙරළට ගසාගෙන ගිය විට ඒවායේ මතුපිට සලකුණු මැකීගොස්, මළකෑමට ද හැකිබවත් ඔහු සඳහන් කළේ ය.
මහාචාර්ය ඉනෝල් පවසන පරිදි, ප්‍රචණ්ඩ කුණාටුවක දී හෝ විශාල ධීවර යාත්‍රාවක පැටලී ඇදී යාම මඟින් බෝයාවන් ඒවා නැංගුරම්වලින් වෙන්වී ගැලවී යා හැකි ය.
ලෝහ ගෝලය සම්බන්ධයෙන් ජපන් බලධාරීන් දැක්වූ ප්‍රතිචාරය ද, එම වස්තුව තරමටම කුතුහලය දනවනසුළු විය.
අභිරහස් ගෝලය ජපානයට පාවී ආවේ නොසන්සුන්කාරී වාතාවරණයක් මධ්‍යයේ ය. පසුගිය සතියේ දී ජපාන මාධ්‍ය, උතුරු කොරියාවේ මෑතකාලීන මිසයිල ක්‍රියාකාරකම්හි ප්‍රතිවිපාක ගැන සාකච්ඡා කරමින් සිටියේ ය.
සෙනසුරාදා (පෙබ. 18) අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) ජපානයේ රාෂ්ට්‍රීය මුහුදු කලාපයට පතිතවිය. ඇමෙරිකා එක්සත් ජනපදය, නැගෙනහිර ආසියානු මිත්‍ර රාජ්‍යයන් සමග ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමෙන් අනතුරුව පැමිණි සඳුදා (පෙබ. 20) උතුරු කොරියාව ජපාන මුහුදට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළේ ය.
මෙහිදී චීනයේ ඔත්තු බැලූන පිළිබඳ ගැටලුව ද පවතියි. බදාදා (පෙබ. 22), සිව් වසරකට පසු ප්‍රථම වතාවට ජපන් සහ චීන නිලධාරීන් ටෝකියෝහි දී ආරක්ෂක රැස්වීම් පැවැත්වූ අතර, එහිදී ජපානය මෙම නිරීක්ෂණ බැලූන පිළිබඳ සිය කණස්සල්ල පළකළේ ය.
පසුගිය සතියේ දී ජපාන රජය කියා සිටියේ, 2019 - 2021 අතර කාලය තුළ එරට අහසේ දක්නට ලැබුණු හඳුනානොගත් පියාසර වස්තූන්ගෙන් තුනක්වත් චීන ඒවාබවට "දැඩි ලෙස සැකකරන" වග යි.
නමුත් චීන රජය ඔත්තු බැලීමේ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, චීන තර්ජන අතිශයෝක්තියට නැංවීමේ ඇමෙරිකානු රජයේ ක්‍රියාකලාපය අනුගමනය කිරීම නවතන්නැ යි ජපාන රජයෙන් තරයේ ඉල්ලා සිටියේ ය.
භූ-දේශපාලනික සිදුවීම්වල ආතතිජනක යටිපෙළ සහ එහි අසල්වාසීන්ගෙන් නැගෙන තර්ජන සැලකිල්ලට ගතහොත්, ජපානයේ උපකල්පනයන් සමග ඇතිවූ කලබලය තේරුම්ගත හැකි ය.
"මෑතක සිදුවීම් එක්ක ගත්තම... හඳුනා නොගත් පාවෙන වස්තුවක් ගැන දැඩි උනන්දුවක් ඇතිවීම මට තේරුම්ගන්න පුළුවන්," මහාචාර්ය ඉනෝල් පැවසීය.











