චීනයේ කාර්යයාලයක තෙවැනි මහලෙන් ඇදවැටුණු විදුලි රථය දෙදෙනෙකුට මරු කැඳවයි

Nio electric car crash in Shanghai.

ඡායාරූප මූලාශ්‍රය, Weibo

ඡායාරූප ශීර්ෂ වැකිය, සිද්ධියෙන් දෙදෙනෙකු මරණයට පත්විය

තම සමාගමේ රථයක් ෂැංහයිහි පිහිටි සිය මූලස්ථානයේ තෙවන මහලෙන් බිමට ඇදවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූබව චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙකු වන නියෝ ප්‍රකාශ කරයි.

අනතුරින් එක් සේවකයෙකු ද, හවුල්කාර සමාගමක තැනැත්තෙකු ද මියගියේ ය.

මෙම සිදුවීම බදාදා (ජුනි 22) එරට වේලාවෙන් පැය 17:20ට පමණ සිදුවූබව සමාගම පවසයි. මියගිය පුද්ගලයින් හිඳ ඇත්තේ ගොඩනැගිල්ලෙන් බිමට වැටුණු රථය තුළ යි.

රජයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් වහා ආරම්භ කළබව නියෝ පවසයි.

මෝටර් රථය ඇදවැටීමට පෙර පැවැති තුන්වන මහලේ ප්‍රදේශය ප්‍රදර්ශනාගාරයක්, පරීක්ෂණ මධ්‍යස්ථානයක්, හෝ රථගාලකැ යි විවිධ අයුරින් විස්තරකර තිබේ.

"මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කිරීම සහ අනතුරට හේතුව විශ්ලේෂණය කිරීම සඳහා අප සමාගම මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිටියි. අනතුර සිදුවූ ස්ථානයේ දී සිදුකළ තත්ත්ව විශ්ලේෂණයක් මත පදනම්ව, මෙය අනතුරක්බව (රථය නිසා සිදුවූවක් නොවේ) අපට මූලික වශයෙන් තහවුරු කළ හැකි ය," සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

"මෙම අනතුර පිළිබඳව අප දැඩි සේ කණගාටුවක් වන අතර, ජීවිත අහිමිවූ අපගේ සගයාටත්, සහකාර සමාගමේ සේවකයාටත් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා දැනටමත් කණ්ඩායමක් පිහිටුවා ඇත," එහි වැඩිදුරටත් සඳහන් විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

නියෝ විසින් මුල දී වෙයිබො සමාජ මාධ්‍ය අඩවියේ පළකරන්නට යෙදුනු ප්‍රකාශයට පැය භාගයක් තුළ දහසකට වැඩි අදහස් දැක්වීම් ලැබුණු අතර, අනතුරුව එය ඉවත්කර තිබුණි.

ප්‍රකාශයේ අවසන් වාක්‍යය වූ "රථය නිසා සිදුවූවක් නොවේ" යන්න සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් බොහෝ කිපුණු ප්‍රතිචාර ලැබීමට හේතුවූයේ ය.

ඉන් එක් කමෙන්ටුවකින් "එය ධනවාදයේ අනුකම්පා විරහිතභාවය පෙන්වන්නේයැ"යි කියැවුණු අතර, තවෙකෙකු පැවසුවේ "අවසාන වාක්‍ය හරිම අසංවේදී යි. එයාලා [පරීක්ෂණ රියදුරන්] ආවේ වාහනේ පරීක්ෂා කරන්න, නමුත් ඔයගොල්ලෝ කියන්නේ වාහනේට [අනතුර] එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා ද?"

"ඒක හදිසි අනතුරක් ද නැද්ද කියන එක තහවුරු කළ යුත්තේ මහජන ආරක්ෂක කාර්යාංශය," තවත් වෙයිබො පරිශීලකයෙක් පැවසුවේ ය.

මින් අනතුරුව මෝටර් රථ නිෂ්පාදකයා පළමු ප්‍රකාශයේ සංශෝධිත අනුවාදයක් එහි පළකළේ ය. එමඟින් ද මෙම සිදුවීම අනතුරක් ලෙස දක්වන නමුත්, "රථය නිසා සිදුවූවක් නොවේ" යන්නෙහි 'සැර බාලකිරීම' උදෙසා මේ වන විට එය වරහන් තුළ සටහන්කර තිබේ. නව පෝස්ටුව සඳහා ලැබුණු සියලු කමෙන්ටු දැන් "RIP" (සමාදානයේ සැතපේවා) වැනි ඒවා වේ.

විදුලි රථවාහන කර්මාන්තයේ ආධිපත්‍යය සියතට ගැනීමේ චීනයේ ප්‍රයත්නයේ ඉදිරියෙන්ම සිටින්නේ නියෝ සමාගම යි. බැටරි නිතර ආරෝපණය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පාරිභෝගික ගැටළු විසඳීම සඳහා නියෝ විසින් එකිනෙක හුවමාරු කළ හැකි බැටරි සිය මෝටර් රථයන්ට යොදවා ඇත.

ප්‍රකෝටිපතියෙකු වන ඊලොන් මස්ක්ට අයත්, එක්සත් ජනපදය පදනම් කරගත් විදුලි මෝටර් රථ නිෂ්පාදක සමාගම (ඔවුනට ෂැංහයිහි ප්‍රධාන නිෂ්පාදන කම්හලක් ද තිබේ) සමග ඇති එදිරිවාදිකම් ගැන ඉඟියක් ලෙස ඇතැම්විට මෙම සමාගම චීනයේ "ටෙස්ලා ඝාතකයා" ලෙස හඳුන්වනු ලබයි.

Nio electric car crash in Shanghai.

ඡායාරූප මූලාශ්‍රය, Weibo

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් අසල ඇති ගොඩනැගිල්ලක සිට ගත් ඡායාරූපයක් පළකළ අතර, මෝටර් රථය ඇදවැටුණු කවුළුව රතු කවයකින් සලකුණුකර පෙන්වීය