සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක් 2019 දී ලොව පුරා ළමුන් 100 000ක් මරාදමයි

RSV

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෙස්පිරට්‍රි සින්සිෂල් වෛරස් (RSV) යනු ආසාදිත සෛල එකිනෙකට "ඇලීමට" සලස්වන, තනි RNA දාමයකින් යුතු, සාමාන්‍ය පරිසරයේ බහුල වෛරසයකි

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති කරන සාමාන්‍ය වෛරසයක් නිසා 2019 දී ලොව පුරා වයස අවු. පහට අඩු ළමුන් 100,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව පර්යේෂණයකින් සොයාගෙන ඇත.

රෙස්පිරට්‍රි සින්සිෂල් වෛරස් (RSV) නමැති මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට මාරාන්තික විය හැකි ය. මරණවලින් 45%ක් මාස හයට අඩු වයසේ ළමුන් අතරින් වාර්තා විය.

බහුතරයක් මරණ සිදුව ඇත්තේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල ය.

මේ සඳහා එන්නතක් නිපදවා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයැ යි විශේෂඥයෝ යෝජනා කරති.

වෛරසයේ 'නැවත පැමිණීමක්'

සාමාන්‍යයෙන් වසරක දී, එක්සත් රාජධානියේ වයස අවු.1ට අඩු කුඩා ළමුන් 20,000ක් රෝහල්ගත කිරීමට හේතු වන්නේ RSV වෛරසය යි.

ඊට ප්‍රතිකාර කිරීම පහසු නමුත් රෝහල්ගත නොවුණහොත් තත්ත්වය වඩාත් බරපතල විය හැකි ය.

කොවිඩ්-19 වසංගතය නිසා සමාජ සම්බන්ධතා අඩුවීමෙන් RSV මරණ සංඛ්‍යාව පහත වැටුණි.

නමුත් අධ්‍යයනයේ සම-කර්තෘ, එඩින්බරෝ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය හරීෂ් නායර් පැවසුවේ සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භවීමත් සමග රෝගයේ "නැවත පැමිණීමක්" දක්නට ලැබෙන බව යි.

"COVID-19 සීමාකිරීම් ලොව පුරා ලිහිල් වෙමින් පවතින නමුත්, පසුගිය වසර දෙක තුළ උපත ලැබූ දරුවන්ගෙන් බහුතරයක් RSVවලට නිරාවරණය වී නැහැ. ඒ නිසා මෙම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඔවුන් සතුව නැහැ."

RSV යනු කුමක් ද? එය හඳුනාගන්නේ කෙසේ ද?

RSVහි රෝග ලක්ෂණ අදියර වශයෙන් මතුවන අතර, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස, නාසය අවහිරවීම හෝ නාසයෙන් දියර ගැලීම සිදුවිය හැකි ය.

එය බොහෝ දරුවන් තුළ බරපතල රෝග ලක්ෂණ ඇති නොකරන අතර ළදරු පැරසිටමෝල් හෝ අයිබියුප්‍රොෆන්වලින් නිවසේ දීම ප්‍රතිකාර කළ හැකි ය.

ඔබේ දරුවා වෙනදා මෙන් ආහාර නොගන්නේ නම්, වේගයෙන් හුස්ම ගන්නේ නම් හෝ අඩු නොවන උණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

හුස්ම ගැනීමේ දී ඔවුන්ගේ ඉළ ඇටවලට යටින් ඇති මාංශ පේශීන් හැකිලෙන බව ඔබ දුටුවහොත්, ඔබේ දරුවා හුස්ම ගැනීමට උත්සාහ කිරීමෙන් වෙහෙසට පත්ව සිටින බවක් හෝ ඔවුන් සුදුමැලි වී දහඩිය දමා ඇති බවක් ඔබ දුටුවහොත් වහාම රෝහල්ගත වන්න. නැතහොත් 1990 හරහා සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

'ප්‍රශස්ත විසඳුම'

මෙම අධ්‍යයනයේ සම-කතුවරයෙකු වන ආචාර්ය යූ ලී පැවසුවේ RSV රෝගීන් සංඛ්‍යාව පුදුමයක් නොවන නමුත්, රෝහලෙන් පිටත ප්‍රජාව තුළ සිදුවන මරණ මෙතරම් ඉහළ අගයක් ගනු ඇතැ යි ඔවුන් අපේක්ෂා නොකළ බව යි.

සමස්තයක් වශයෙන්, මෙම අධ්‍යයනය ඇස්තමේන්තුකර ඇත්තේ RSV මරණවලින් හතරෙන් තුනක් රෝහලෙන් පිටත සිදුවූ බව යි.

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී ප්‍රජාවන්ගෙන් ඉහළ RSV මරණ අනුපාතයක් වාර්තා වන්නේ ඉහළ ජන ඝනත්වය, දුර්වල ජීවන තත්ත්වයන් සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති සීමිත ප්‍රවේශය නිසා බව වෛද්‍ය ලී පැවසුවේ ය.

"සම්පත් හිඟතාවයක් තිබුණොත් රෝහල්වල සිදුවන එක් RSV මරණයකට ඉන් පිටත RSV මරණ 13ක අනුපාතයක් දකින්න ලැබෙනවා. අඩු සහ මධ්‍යම ආදායම් ලබන ප්‍රජාවන්ට RSV ප්‍රතිශක්තිකරණය ලබාදෙන එක ප්‍රශස්ත විසඳුමක් වේවි," ඔහු පැවසීය.

මේ වන විට ප්‍රතිශක්තිකරණ නිෂ්පාදන සහ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතියි.