පාටිගේට්: අගමැති බොරිස් ජොන්සන්ගේ සාදයන් පිළිබඳ විමර්ශන වාර්තාව එළිදකියි

The door of No 10 Downing Street

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මුළු එක්සත් රාජධානියම හුදෙකලා කර තිබිය දී, එරට අගමැති කාර්යයාලයේ සහ රජයේ ගොඩනැගිලි තුළ පැවැත්වූ සාදයන් පිළිබඳව එරට කැබිනට් කාර්යයාලයේ දෙවන ස්ථිර ලේකම්වරිය වන සූ ග්‍රේ කළ විමර්ශනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත.

එහි, "නායකත්වයේ සහ විචාර බුද්ධියේ මඳබව" සහ වසංගතය මැඬලීම පසෙක ලා රැකියා ස්ථානයේ දී අධික ලෙස මත්පැන් පානය කර ඇති බව දක්වයි.

සූ ග්‍රේ පැවසුවේ සිදුවීම් 16ක් ඇගේ විමර්ශයට අයත් වූ බවත්, ඉන් 12ක් දැන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් විමර්ශනය වන බවත් ය.

මීට පෙර වාර්තා නොවූ උත්සව තුනක් ද ඊට ඇතුළත් වේ.

මාධ්‍ය වාර්තාවලට අනුව, කොවිඩ් වසංගතය මධ්‍යයේ අගමැතිවරයාගේ නිවස්නය හා කාර්යයාලය වන ඩව්නිං වීදියේ අංක 10 ස්ථානයේ හෝ, වෙනත් රජයේ දෙපාර්තමේන්තුවල අවම වශයෙන් සාදයන් 17ක් පමණ සිදුව ඇත.

මෙම සාදයන් පවත්වා ඇත්තේ, පුද්ගලයන් දෙදෙනෙකුට වැඩි ගෘහස්ථ එක්රැස්වීම් සහ එළිමහන් උත්සවයන් ද නොයෙක් සීමාවන්ට ලක්කරමින් එක්සත් රාජධානිය පුරා විවිධ මට්ටමින් ලොක්ඩවුන් පනවා තිබූ සමයක ය.

සාක්ෂිකරුවන් බීබීසීයට පැවසුවේ, එක් සාදයකට සහභාගී වූ පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතර ජොන්සන් සහ එවකට ඔහුගේ පෙම්වතිය වූ කැරී සිමන්ඩ්ස් ද සිටි බව යි.

line

සාදයන් පැවැත්වුණේ කවදා ද?

  • 2020 මැයි සහ 2021 අප්‍රේල් අතර දින ගණනාවක දී සාදයන් 16කට වඩා පැවැත්විණි
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුළ දී පැවැත්වුණු එක් සාදයක් හැරුණුකොට, අනෙක් සියල්ලම පැවැත්වුණේ ඩව්නිං වීදියේ අගමැති කාර්යාල ගොඩනැගිල්ලේ හෝ කැබිනට් කාර්යාලයේ දී ය
  • කලින් වාර්තා නොවූ සාද තුනෙන් දෙකක් අගමැති කාර්යාලයේ දී පවත්වා ඇති අතර, අනෙක කැබිනට් කාර්යාලයේ පවත්වා තිබේ
  • 2020 මැයි 20 වන දින අගමැතිවරයා ද සහභාගී වූ, ඩව්නිං වීදි ගොඩනැගිල්ලේ උද්‍යානයේ මත්පැන් සාදය පොලිසිය විසින් විමර්ශනය කරන සාද 12ට ඇතුළත් වේ
  • 2020 ජූනි 19 වැනි දින කැබිනට් කාමරයේ දී පැවැත්වුණු අගමැති ජොන්සන්ගේ උපන්දින සැමරුම ද පොලිස් පරීක්ෂණවලට යටත්වන අනෙකුත් සිදුවීම්වලට ඇතුළත් වේ
  • 2020 නොවැම්බර් 13 වන දින අගමැති කාර්යාල ගොඩනැගිල්ලේ නිවසක පැවැත්වුණු සාදයක් පිළිබඳව ද පොලීසියේ අවධානය යොමුව තිබේ
line

ඇය එල්ල කරන චෝදනා මොනවා ද?

වාර්තාවේ හරය වන්නේ විමර්ශනයෙන් සොයාගත් මූලික කරුණු ය. මේවා, සූ ග්‍රේගේ විවේචනය මූලික කරගත් සංක්ෂිප්ත ඡේද කිහිපයකින් ලියැවී ඇත.

ඇය පවසන්නේ සමහර සාද නොපවැත්විය යුතුව තිබූ බවත්, අනෙක් ඒවා පමණ ඉක්මවා යාමට ඉඩ නොතැබිය යුතු වූ බවත් ය.

එහි ප්‍රධාන ක්ෂේත්‍රයන් හතරක් කැපී පෙනේ:

වසංගතයේ ගිලුණු රටක්

  • එරට ජනතාවගේ "ජීවිත තුළ බොහෝ දුරකට පැතිරුණු සීමාකිරීම් පිළිගන්නැ"යි ඔවුනට කියන අතරේ, මෙම සාදවල සිදුවූ ඇතැම් හැසිරීම් "සාධාරණීකරණය කිරීමට අපහසු ය"
  • සමහර සාදවල දී, රටේ රජයටත්, ජනතාවටත් පනවා තිබූ මාර්ගෝපදේශ "පිළිපැදීමට අපොහොසත්වීමක්" දක්නට ලැබේ
  • සමහර සාද පැවැත්වීමේ දී, එවකට රටේ තත්ත්වය, මහජන සෞඛ්‍යයට ඇති අවදානම, සහ එම සාද මහජනතාව දකින්නේ කෙසේ ද යන්න පිළිබඳව "ඉතා සුළු හෝ තැකීමක් සිදු නොකර" ඇති බව පෙනේ

නායකත්වයේ අසාර්ථකත්වය

  • විවිධ අවස්ථාවන්හි දී, අගමැති කාර්යාලයේ සහ කැබිනට් කාර්යාලය විවිධ අංශයන්, "නායකත්වයේ සහ විචාර බුද්ධියේ මඳකමක්" දැක්වීය
  • සමහර සාද "පැවැත්වීමට ඉඩ නොදිය යුතුව තිබුණි". තවත් සාද "පමණ ඉක්මවා යාමට ඉඩ නොතැබිය යුතුව තිබුණි"
  • "කාර්ය මණ්ඩලයට අවිධිමත් ලෙස, කළමනාකරණ දාමයෙන් පිටතින්… පැමිණිල්ලක් සිදුකිරීමට පහසු ක්‍රම" තිබිය යුතු ය

බීමත් සංස්කෘතිය

  • "කිසිම අවස්ථාවක රැකියා ස්ථානයක දී අධික ලෙස මත්පැන් පානය කිරීම සුදුසු නොවේ"
  • සෑම රජයේ දෙපාර්තමේන්තුවකට ම "මත්පැන් පරිභෝජනය පිළිබඳව පැහැදිලි සහ දැඩි ප්‍රතිපත්තියක්" තිබිය යුතු ය
line

ඇය විමර්ශනය කළේ කෙසේ ද?

  • ඇයගේ කණ්ඩායම පුද්ගලයන් 70 දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. සමහරෙකුගෙන් එක් වරකට වඩා ප්‍රශ්න කෙරුණු අතර, මේ කිසිවෙකුගේ නම් ප්‍රසිද්ධ නොකෙරුණි
  • ඔවුහු ඊමේල්, Whatsapp පණිවිඩ, සහ කෙටි පණිවිඩ ද පරීක්ෂා කළහ
  • ඡායාරූප, සහ ගොඩනැගිලිවලින් ඇතුළුවීමේ දී සහ පිටවීමේ දී තැබූ ලොග් සටහන් ද පරීක්ෂා කරන ලදී
  • පැවැත්වූ එක් එක් සාදයන් කොවිඩ් නීතිවලට අනුකූල ද නැද්ද යන්න පිළිබඳව ඇය අදහස් නොදැක්වූ අතර, පොලිසිය විමර්ශනයක් සිදුකරන අතරතුර එසේ කිරීම "නුසුදුසු" බව සඳහන් කළා ය
  • පොලිස් විමර්ශනයට ලක්වන සාද ගැන ඇයට කිව හැකි දේ "අතිශයින්ම සීමිත ය"