බොරිස් ජොන්සන්: එක්සත් රාජධානි අගමැතිට ඉල්ලා අස්වෙන්නට සිදුවන ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසංගත හුදෙකලාකිරීම් මධ්‍යයේ එංගලන්තයේ 'ඩව්නිං වීදියේ අංක 10' ලිපිනයේ දී (අගමැති කාර්යයාලයේ) පැවැත්වුණු සාදයන් පිළිබඳ වාර්තාවක් ප්‍රකාශනයට පත්කිරීමට ආසන්න බැවින්, එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ දේශපාලන අනාගතය තීරණාත්මක ස්ථානයක පවතියි.
මෙම කොවිඩ් නීති කඩකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අපරාධ පරීක්‍ෂණයක් ආරම්භකර ඇති අතර, අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කර ඇති බව ඔප්පු වුවහොත් ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවිය හැකි ය.
බොරිස් ජොන්සන් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය විවිධාකාරයේ සිදුවීම් බහුල එකක්විය.
නායකත්වයේ ගතකළ වසර දෙකකට මඳක් වැඩි කාලය තුළ දී ඔහු එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීම (බ්‍රෙක්සිට්) සහ එක්සත් රාජධානිය ගෝලීය කොවිඩ්-19 වසංගතය හරහා මෙහෙයවීම සිදුකළ අතර, ඔහුට සමීපතම උපදේශකයින් ඔහුට විරුද්ධව යෑම හා ඉල්ලා අස්වීම වැනි සිදුවීම්වලට මුහුණ දුන්නේ ය.
නමුත්, ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා ද වූ බොරිස් ජොන්සන් බලය අහිමිවීමට ආසන්න තැනකට ගෙනැවිත් ඇත්තේ, දැන් 'පාටිගේට්' යනුවෙන් හැඳින්වෙන, බ්‍රිතාන්‍ය දේශපාලන වේදිකාව සෙලවූ නවතම සිදුවීම යි.
නමුත් එක්සත් රාජධානියේ අගමැතිවරයා චෝදනා ලබා සිටින්නේ කුමක් සම්බන්ධයෙන් ද?

ඡායාරූප මූලාශ්‍රය, PA Media
'පාටිගේට්' යනු කුමක්ද?
මාධ්‍ය වාර්තාවලට අනුව, කොවිඩ් වසංගතය මධ්‍යයේ අගමැතිවරයාගේ නිවස්නය හා කාර්යයාලය වන ඩව්නිං වීදියේ අංක 10 ස්ථානයේ හෝ, වෙනත් රජයේ දෙපාර්තමේන්තුවල අවම වශයෙන් සාදයන් 17ක් පමණ සිදුව ඇත.
මෙම සාදයන් පවත්වා ඇත්තේ, පුද්ගලයන් දෙදෙනෙකුට වැඩි ගෘහස්ථ එක්රැස්වීම් සහ එළිමහන් උත්සවයන් ද නොයෙක් සීමාවන්ට ලක්කරමින් එක්සත් රාජධානිය පුරා විවිධ මට්ටමින් ලොක්ඩවුන් පනවා තිබූ සමයක ය.
2020 මැයි මාසයේ දී, සමාජ දුරස්ථතාවය යටතේ 'ඔබේ මත්පැන් ඔබම රැගෙන එන්න' (BYOB) යන තේමාව යටතේ ඩව්නිං වීදියේ අංක 10 ගොඩනැගිල්ලේ උද්‍යානයේ පැවැති මත්පැන් සාදයකට පුද්ගලයින් 100 දෙනෙකුට පමණ ආරාධනාකර තිබුණි.
සාක්ෂිකරුවන් බීබීසීයට පැවසුවේ, සාදයට සහභාගී වූ පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතර ජොන්සන් සහ එවකට ඔහුගේ පෙම්වතිය වූ කැරී සිමන්ඩ්ස් ද සිටි බව යි. තමා විනාඩි 25ක් එම සාදයේ රැඳී සිටි බව අගමැතිවරයා තහවුරු කළ නමුත්, "එය රාජකාරි රැස්වීමකැ යි තමා සම්පූර්ණයෙන්ම විශ්වාස කළ බව" ඔහු පවසයි.
උපන්දින සාදයක්!
ඉන් මාසයකට පසු, අගමැතිගේ උපන්දිනය සඳහා ඩව්නිං වීදියේ කැබිනට් කාමරයේ දී කේක් සාදයක් පැවති බවට වාර්තා වේ. අංක 10 ගොඩනැගිල්ලේ කාර්යමණ්ඩලය පවසන්නේ සැමරුම "විනාඩි දහයකට අඩු" කාලයක් පැවති බව යි.

ඡායාරූප මූලාශ්‍රය, Andrew Parsons / No 10 Downing Street
2020 දෙසැම්බරයේ දී ලන්ඩනය දැඩි ලොක්ඩවුන් සීමාවන් කරා එළැඹෙමින් පැවති විට, කොන්සර්වේටිව් පක්ෂ මූලස්ථානයේ පැවති "අනවසර රැස්වීමක්" ද ඇතුළුව සාද ගණනාවක් උත්සවාකාරයෙන් පවත්වා ඇතිබව කියනු ලැබේ.
2021 අප්‍රේල් 16 වන දා, පිලිප් කුමරුගේ අවමංගල්‍යයට පෙර දින රාත්‍රියේ දී, ඩව්නිං වීදියේ කාර්යමණ්ඩලය විසින් සාදයන් දෙකක් පැවැත්වූ බව කියනු ලැබේ. පසුදා පැවැත්වුණු පිලිප් කුමරුගේ අවමංගල දේව මෙහෙය අවස්ථාවේ දී, කුමරාගේ වැන්දඹුව වන රැජින එකල කොවිඩ් සීමාවන්ට අනුකූලව තනිවම වාඩිවී සිටින ආකාරය කැමරාවට හසුවිය.
ඒ වන විට එරට නිල ධජයන් අඩකුඹු කර තිබූ අතර, රටම ජාතික ශෝක තත්ත්වයක පැවතිනි.
අප්‍රේල් 16 දා පැවැත්වුණේයැ යි කියනු ලබන සාද දෙකටම ජොන්සන් සහභාගී වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
අගමැතිවරයාට දැඩි චෝදනා
මෙම සාදයන් පිළිබඳව චෝදනා එල්ලවීමෙන් අගමැතිවරයා දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ඔහුට නිතිපතා චෝදනා එල්ලකරමින් පවතියි.
මෙම අපකීර්තිමත් සිද්ධියේ පළමු වින්දිතයා වූයේ රජයේ මාධ්‍ය ලේකම් ඇලෙග්‍රා ස්ට්‍රැටන් ය.
සාදයන් පිළිබඳව වාර්තාවීම ඇරඹි දෙසැම්බර් මාසයේ දී, අංක 10 ගොඩනැගිල්ලේ කාර්යමණ්ඩලය විසින් කිසිදු සාදයක් පැවැත්වූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කර සතියකට පසු, ස්ට්‍රැටන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නවලට මුහුණදීමට පෙරපුහුණු වන අවස්ථාවක වීඩියෝවක් 'ලීක් වී' තිබුණි. එහි දී ඇය "චීස් සහ වයින්" සමග පැවැත්වෙන ව්‍යාපාරික රැස්වීමක් ගැන විහිළු කරනු දක්නට ලැබුණි.
පසුදා කඳුළු පිරුණු ප්‍රකාශයක් ලබාදුන් ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා ය.
දෙසැම්බරයේම දිනෙක දී, සාමාන්‍යයෙන් කොන්සර්වටිව් පාක්ෂිකයින් නිතරගයෙන් ජයගන්නා උතුරු ෂ්‍රොප්ෂයර්හි ආසනයක් අතුරු මැතිවරණයක් හරහා ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවිය. මෙය, කොන්සර්වටිව් පක්ෂයෙන් ඉදිරපත් වී අගමැති තනතුර දිනූ ජොන්සන්ගේ ආණ්ඩුව වටා මතුව ඇති මතභේදය නිසාවෙන් සිදුවූවක්යැ යි කියැවේ.
මෙම මස මුල දී, කොන්සර්වේටිව් මන්ත්‍රීවරයෙකු වන ක්‍රිස්ටියන් වේක්ෆර්ඩ් ද ප්‍රතිවාදී කම්කරු පක්ෂයට මාරුවන බවට නිවේදනය කළේ ය. කෙසේ නමුත්, විපක්ෂය සමග ඔහුගේ සබඳතා ඇරඹී ඇත්තේ පාටිගේට් සිදුවීමට පෙර දී ය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
'දෙයියන්ගේ නාමෙන් දැන්වත් යන්න'
කොන්සර්වේටිව් පක්ෂය තුළත්, ඉන් පිටතත් සිටින තවත් බොහෝ මන්ත්‍රීවරුන් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයැ යි ඉල්ලා ඇති අතර, මෙහිදී හිටපු කොන්සර්වටිව් පාක්ෂික බ්‍රෙක්සිට් ලේකම් ඩේවිඩ් ඩේවිස්ගෙන් එල්ලවූයේ කැපී පෙනෙන අන්දමේ ප්‍රබල පහරකි.
ඔහු, දෙවන ලෝක සංග්‍රාම සමයේ මුල් යුධමය පරාජයන්ගෙන් පසුව, එවකට අගමැති නෙවිල් චේම්බර්ලින්ගෙන් ඉල්ලා අස්වන්නැ යි ඉල්ලමින් 1940 දී කොන්සර්වටිව් පාක්ෂික මන්ත්‍රීවරයෙකු සිදුකළ ප්‍රකාශයක් උපුටා දැක්වීය.
"ඔබ කරපු හොඳ වැඩවලට හරියන්න ඔබ දැන් ඕනෑවටත් වඩා වැඩි කාලයක් මෙහි ඉඳලා තිබෙනවා. දෙවියන්ගේ නාමයෙන්, [දැන්වත්] යන්න," එම ප්‍රකාශය විය.
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකාවක් වන සූ ග්‍රේ විසින් මෙහෙයවනු ලබන නිරෝධායන නීති කඩකිරීම් පිළිබඳ විමර්ශනයකින් අනතුරුව නිකුත්කෙරෙන වාර්තාව බලාපොරොත්තුවෙන්, සැමගේ අවධානය දැන් පාර්ලිමේන්තුව වෙත යොමුවී ඇත.
කවුද මේ සූ ග්‍රේ?

ඡායාරූප මූලාශ්‍රය, PA Media
සූ ග්‍රේ දැනට කැබිනට් කාර්යයාලයේ දෙවන ස්ථිර ලේකම්වරිය වන අතර, එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨතම සිවිල් සේවකයෙකු වන සයිමන් කේස් යටතේ සේවය කරයි. 'සිවිල් සේවකයා' යනු රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උදව් කරනා අයෙකි.
මුලින්ම විමර්ශනය බාරව සිටියේ සයිමන් කේස් ය. කෙසේ වෙතත්, 2020 වසරේ පැවති නත්තල් සාදයන්ගෙන් එකක් ඔහුගේ කාර්යාලයේ සිදුවූ බව දැනගත් පසු ඔහු එම විමර්ශනය ග්‍රේ වෙත පවරා ඇඟ බේරාගත්තේ ය.
ග්‍රේ විසින් රැස්වීම්වල ස්වභාවය සහ අරමුණ සලකා බලනු ඇති අතර, සාදයන්ට සහභාගී වූයේ කවුරුන් ද යන්න ඇතුළුව "එම අවස්ථාව වන විට පනවා තිබූ මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන්" විමර්ශනය කරනු ඇත.
මෙම වාර්තාවෙන්, සිදුවූ දෙය පිළිබඳ සත්‍ය විස්තරයක් ලබාදෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ. සාදයන්හි දී මාර්ගෝපදේශ කඩවී ඇතිදැ යි යන්න ඇය විසින් ප්‍රකාශ කෙරෙනු ඇති බවක් මින් අදහස් නොවේ.
එය ස්වාධීන පරීක්ෂණයකට වඩා, අභ්‍යන්තර පරීක්ෂණයකි. එය අංක 10 ඩව්නිං වීදි කාර්යයාලයෙන් පවත්වන්නැ යි නියම කරන ලද්දකි. මෙහිදී ග්‍රේ අපක්ෂපාතී විය යුතු වේ.
වාර්තාව මහජන පරීක්ෂාවට ලක්වෙන පරිදි සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත් කිරීම සහතික කිරීමට විපක්ෂ නායක ස්ටාර්මර් විසින් ඩව්නිං වීදි කාර්යාලයට බලපෑම් සිදුකර ඇත.
අග්‍රාමාත්‍ය කාර්යයාලය පවසා ඇත්තේ වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රසිද්ධියට පත් කිරීම තම සම්පූර්ණ අභිප්‍රාය වන නමුත්, චූදිත පාර්ශ්වයන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනයකට බාධා කිරීමට තමන් කැමති නැති බව යි.

ඡායාරූප මූලාශ්‍රය, UK Government
පොලීසිය පරීක්ෂණ පවත්වන්නේ කුමක් සම්බන්ධයෙන් ද?
පොලිසිය කොපමණ සාදයන් සංඛ්‍යාවක් විමර්ශනය කරනවා ද යන්න තවමත් පැහැදිලි නැත.
මේ වන විට, ලන්ඩනයේ පොලිස් බලකාය වන මෙට්‍රොපොලිටන් පොලිසිය පවසා ඇත්තේ, "කොවිඩ්-19 රෙගුලාසි උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පසුගිය වසර දෙක තුළ ඩව්නිං වීදියේ සහ වයිට්හෝල්හි (රජයේ කාර්යයාල) පැවති සාදයන් ගණනාවක්" විමර්ශනය කරන බව යි.
විමර්ශනය ආරම්භ කිරීමට තීරණය කෙරුණේ සූ ග්‍රේගේ විමර්ශන කණ්ඩායම විසින් සපයන ලද තොරතුරු සහ "නිලධාරීන්ගේම ඇගයීම්හි" ප්‍රතිඵලයක් ලෙස බව මෙට්‍රොපොලිටන් පොලීසියේ කොමසාරිස් ක්‍රෙසිඩා ඩික් ආර්යාව පැවසුවා ය.
කොරොනාවෛරස පනත යටතේ, කොවිඩ් මාර්ගෝපදේශ කඩකිරීම් සඳහා දඩ නියම කළ හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
2020 ගිම්හානයේ දී, පළමු වරට කොවිඩ් මාර්ගෝපදේශ කඩකිරීමේ වරද සිදුකළ පුද්ගලයන්ට පවුම් 100 (රු. 22,850 පමණ) දඩයක් නියම කිරීමට මෙට්‍රොපොලිටන් පොලිසියට බලය තිබුණි (දින 14ක් ඇතුළත ගෙවන්නේ නම් පවුම් 50 (රු. 11,425 පමණ) දක්වා අඩු කරනු ලැබේ). ඉන්පසුව ද මාර්ගෝපදේශ කඩකළහොත් දඩය දෙගුණ විය හැකි අතර, පවුම් 3200ක (රු. 730 000ක් පමණ) උපරිමයක් දක්වා ඉහළ යා හැකි ය.
අගමැතිවරයා පැවසුවේ, "මහජනතාවට අවශ්‍ය පැහැදිලිකිරීම් ලබා දීමට සහ කරුණු අනාවරණයට උපකාරී වන බැවින්" තමන් පොලිස් නිවේදනය ඉහළින් පිළිගන්නා බව යි.
ඔහුගේ ප්‍රකාශකයා පැවසුවේ, අගමැතිවරයා තමා නීතිය කඩ කළ බවක් නොසිතන වග යි.
බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි ද?
ග්‍රේගේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සහ අපරාධ විමර්ශනයක ප්‍රතිඵලය ලැබෙන තුරු රටම බලා සිටින බැවින්, ඊළඟට සිදුවිය හැකි දේ කිහිපාකාර ය.
වැරදි ක්‍රියාවන් සහ බොරුකීම සම්බන්ධයෙන් මින්පෙර ජොන්සන්ට චෝදනා එල්ලවූ අවස්ථාවන්හි දී ඔහු ප්‍රතිචාර දක්වා ඇති ආකාරයටම, මෙවර ද, වාර්තාව ප්‍රකාශයට පත්කරන තෙක් රැඳී සිටින ලෙස ඔහු තම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
රැජිණ තම ස්වාමිපුරුෂයාගේ අවමංගල්‍ය උත්සවයේ දී පවා තනිවම අසුන්ගෙන කොවිඩ් රෙගුලාසි ඉතා හොඳින් පිළිපැද ඇති පසුබිමක, තම කාර්යමණ්ඩලයේ හැසිරීම පිළිබඳව ජොන්සන් රැජිණගෙන් සමාව අයැද සිටියේ ය.
කෙසේ වෙතත්, වෙනත් දේශපාලඥයෙකු 'වළලා දැමිය හැකි' අන්දමේ අපකීර්තිමත් සිදුවීම් රැසකට ජොන්සන් අතීතයේ දී නොසැලී මුහුණ දී ඇති අතර, ඔහුගේ අවිචාරවත් ක්‍රියාවන් සහ දෝෂයන් ඔහුගේ 'සන්නාමයේ' තවත් එක් කොටසක් පමණක් බවට පත්විය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
පාටිගේට් කුණාටුව හමාගිය පසුව ද ඔහු සිය තනතුරේ රැඳී සිටිනු ඇතැ යි බොහෝ දෙනා අපේක්ෂා කරති.
එහෙත් වාර්තාව නිකුත්වීමේ ප්‍රතිඵල ලෙස, ඔහු තමාට තවදුරටත් අගමැතිධුරයේ රැඳී සිටිය නොහැකි බව තීරණය කර ඉල්ලා අස්විය යුතුයැ යි තීරණය කරනු ඇති බවට ද මතයක් පවතියි. මෙමඟින් පාලක කොන්සර්වේටිව් පක්ෂය තුළ නායකත්වය සඳහා මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පැනනගිනු ඇත.
විශ්වාසභංගයක් තිබේවි ද?
ඔහුගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුම ඔහු අගමැතිධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. එබැවින් ඔහු ස්ව-කැමැත්තෙන් ඉවත් නොවුණහොත් විශ්වාසභංගයක් මත විශ්වාසය තැබීමට පක්ෂ සාමාජිකයින්ට සිදු වේ.
මෙය රහස් ඡන්දයක් වන අතර, බලයේ රැඳී සිටීම සඳහා අගමැතිවරයා ඔහුගේම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගෙන් සරල බහුතරයක කැමැත්ත ලබාගත යුතු වේ.
විශ්වාසභංගයකට යෑමට නම්, දැනට පත්වී සිටින මන්ත්‍රීවරුන්ගෙන් අවම වශයෙන් 15%ක් වත් තමාට අගමැතිවරයා ගැන තවදුරටත් විශ්වාසයක් නැති බව පවසමින් ලිපියක් ඉදිරිපත් කළ යුතු ය.
දැනට කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් 359ක් සිටින බැවින්, මන්ත්‍රීවරුන් 54ක් මෙසේ ලිපි ඉදිරිපත් කළ යුතු වේ.
15% සීමාවට ළඟා වන තුරු, විශ්වාසභංගයක් ඉල්ලමින් ලිපි කීයක් ලැබී ඇත්දැ යි යන්න 1922 කමිටුවේ (පසුපෙළේ කොන්සර්වටිව් මන්ත්‍රීවරුන් නියෝජනය කරන) සභාපති ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රේඩි හැර අන් කිසිවෙකුත් නොදනියි.
කෙසේ වෙතත්, ලිපි සංඛ්‍යාව 15% උපරිමයට ළඟා වුවහොත්, විශ්වාසභංගයක් සඳහා දින නියම කරන ලෙස 1922 සභාපතිවරයා අගමැතිවරයාට පැවසිය යුතු ය.
ජොන්සන්ට පෙර අගමැතිව සිටි තෙරේසා මේ, 2018 දෙසැම්බරයේ දී විශ්වාසභංගයකින් බේරීමට සමත් වූ නමුත්, ඉන් මාස හයකට පසු ස්ව-කැමැත්තෙන් ඉල්ලා අස්වූවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images










