එළිසබෙත් රැජිණ උපත ලද නිවෙසේ අභිරහස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1926 වසරේ අප්‍රේල් 21 වැනි දා, ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේ දී දෙවන එළිසබෙත් රැජිණ උපත ලැබුවා ය. එය මාළිගාවක් හෝ, විශාල වතුයායක් හෝ, රෝහලක්වත් නොව, ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවෙසක් විය.
ඇය ඉපදීමට සති කීපයකට ප්‍රථමව ඇගේ දෙමාපියන් පදිංචිය සඳහා පැමිණි මේ නිවෙස අයත්වූයේ, ඇගේ ස්කොට්ලන්ත ජාතික මුත්තණුවන් සහ මිත්තණිය වූ ස්ට්රැත්මෝර්හි අර්ල්වරයා සහ සිටුදේවියට යි.
"ඒ දවස්වල රාජකීය පවුලට අද වගේ මුදල් සුලබ නොවුණුබව මේකෙන් අපට මතක්කර දෙනවා. මුදල් හිඟකම් තිබුණා," රාජකීය ඉතිහාසඥ රොබර්ට් ලේසි පවසයි.
මෙහිදී ඔබ සැලකිල්ලට ගත යුතු එක් කරුණකි. ඒ, රැජිණ උපත ලැබුවෙ රැජිණක් වීම සඳහා නොවනබව යි - එකල, රජුගේ කනිෂ්ඨ පුත්‍රයාගේ දියණිය වූ ඇය රජකම ලබනු ඇතැ යි කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය.
දෙවන ලෝක යුධ සමයේ දී නිවෙස විනාශ වුණා ද?
රැජිණගේ මුල් නිවහන අද වන විට දක්නට නැති අතර, අන්තර්ජාලය පුරා සංසරණය වන ඇතැම් මතයන්ට අනුව එය දෙවන ලෝක යුධ සමයේ ගුවන් ප්‍රහාරවලට ගොදුරුව ඇත.
උදාහරණ ලෙස, "හමුදා ප්‍රහාර අතරතුරේ නිවෙසට හානි වූ අතර, පසුව එය කඩා දමනු ලැබුණි,"යි විකිපීඩියාහි සඳහන් වේ.
නමුත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේත්, තවත් ලේඛනාගාරවලත් ඇති ලියකියවිලි දුසිමකින් පමණම පෙන්වා දෙන්නේ, 18 වැනි සියවසේ ගොඩනගන ලද එම නිවෙස විනාශයට පැමිණුනේ යුද්ධය ඇරඹීමට ද පෙරාතුවබව යි.
රැජිණගේ පළමු නිවහන විනාශකර දැමුනේ - ගුවන් ප්රහාරවලටත් වඩා බොහෝ නිර්දය - දේපොළ සංවර්ධකයන් විසිනි.

1937 දී, උස් තොප්පියකින් හා දිගු ෆ්‍රොක් කබායකින් සැරසුණු මිනිසෙකු බෲටන් වීථියේ 17 වැනි නිවෙසත්, ඒ අසල්වාසියේ සිට බර්ක්ලි චතුරස්‍රය කරා විහිදුණු බොහෝ ගොඩනැගිලිත් විධිමත්ව කඩා බිඳ දැමීම ආරම්භකොට තිබුණි.
මුල දී එම ඉඩකඩෙහි කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගම සඳහා හෝටලයක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණ ද, පසුව එහි ඉදිකෙරුනේ විශාල කාර්යයාලයක් සහ වෙළඳ සංකීර්ණයකි.
එය වාස්තුවිද්‍යාත්මක උරුමය පිළිබඳව සංවේදීත්වයක් නොපෙන්වූ යුගයක් විය. "ලන්ඩනයේ වඩාත්ම ඓතිහාසික වටිනාකමකින් යුත් නිවාස 20" ලෙස එකල එක් වාර්තාවකින් විස්තර කෙරුණු ස්ථානය, ගොඩනැගිලි විනාශ කිරීමේ කණ්ඩායම විසින් පසුතැවිල්ලක සේයාවකුදු නොමැතිව බිමට සමතලා කෙරිණි.
දියසායම් චිත්‍ර ශිල්පියෙකු වූ ශ්‍රීමත් මියර්හෙඩ් ඇඳි සිත් කාවදින සිතුවමක, අලංකාර පැරණි ගොඩනැගිලිවල ඉදිරිපස කම්කරුවන් විසින් කඩා බිඳදැමෙන අයුරු සටහන් වී තිබේ.
නිවෙස පිළිබඳව තව දුරටත් සැක පැවැතියේ නම් ඒ සියල්ල දුරුකරන සටහනක් ලන්ඩන් මහනගර ලේඛනාගාරයේ වෙයි. 1939 මැයි මාසයේ දී මිනින්දෝරුවෙකු තබන ලද මෙම සටහනෙන්, බෲටන් වීථියේ අංක 17 ස්ථානයේ පිහිටි පැරණි නිවස කඩා ඉවත්කර, "එය පැවැති භූමියෙන් කොටසක් 'බර්ක්ලි චතුරශ්‍ර නිවස' (Berkeley Square House) ගොඩනැගිල්ල ඉදිකිරීමට ඉඩ සපයා ඇතැ"යි තහවුරු කරමින් ලිපිගොනුව වසා දමා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Topical Press Agency / Getty Images
වර්තමානයේ බර්ක්ලි ස්ක්වෙයා හවුස් ගොඩනැගිල්ල පිහිටි භූමිය පවත්වාගෙන යන ඇස්ට්‍රියා සමාගම පවසන්නේ, දෙවන ලෝක යුද්ධයට ආසන්න කාලයේ දී ගුවන් අමාත්‍යංශය විසින් එම ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක් අත්පත්කර ගත්බව යි.
දැන් එය චීන අවන්හලක් ද?
රැජිණ උපන් ස්ථානය සම්බන්ධයෙන් නිතර කියැවෙන තවත් ප්‍රකාශයක් වෙයි - ඒ, එම ස්ථානය දැන් චීන අවන්හලක්බව යි.
මෙය ද, සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ.
හකාසන් අවන්හලේ ද ලිපිනය වන්නේ අංක 17, බෲටන් වීථිය යි. නමුත් එතැනම පිහිටි වසාදමා ඇති කාර්යයාල සංකීර්ණයක ලිපිනය වන්නේ ද එය යි. ඊට යාබදව, වීදුරුවලින් සැදුනු ඉදිරිපසකින් යුත් ආයතනික පිවිසුමක් ද, පිළිගැනීමේ ශාලාවක් ද වෙයි. මේ සියලු ව්‍යාපාරික ස්ථානයන් සහිත ගොඩනැගිල්ල තනා තිබෙන්නේ 1920 දී තනි තනි පුද්ගලික නිවාස පේළියක් පිහිටි ස්ථානයක ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය එතරම් විචිත්‍රවත් කතාන්දරයක් නොවනමුත්, අද වන විට බෲටන් වීථියේ අංක 17 මුල් නිවෙස පිහිටි ස්ථානයට ආසන්නතම ඉඩමේ පිහිටා තිබෙන්නේ බර්ක්ලි ස්ක්වෙයා හවුස් ගොඩනැගිල්ලේ කාර්යයාලවලට පිවිසීමට හැකි අප්‍රසිද්ධ පැති දොරටුවකි.
මෝටර් රථ ප්‍රදර්ශනාගාරය
ක්ලර්කන්වෙල්හි පිහිටි ලන්ඩන් මහනගර ලේඛනාගාරයේ, මුල් නිවසේ සැලසුම දක්වන කලාත්මක අක්ෂරවලින් ලියැවුණු පැරණි ලිපිගොනු මිටි ද, ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් අඳින ලද සටහන් ද වෙයි.
ඒවායින් පෙන්වන්නේ අතුරුදන් වූ නිවස මෙම පිවිසුම් ප්‍රදේශය අවට පිහිටන්නට ඇති අතර, එහි ඉදිරිපස කොටස දැන් බුගාටි සහ බෙන්ට්ලි මෝටර් රථ අලෙවි කරන ප්රදර්ශනාගාරයක් දෙසට විහිදෙනබව ය.

ඡායාරූප මූලාශ්‍රය, Universal History Archive / Getty Images
මෙය වෙස්ට්මිනිස්ටර් නගර සභාව විසින් තහවුරුවී ඇති අතර, එහි සැලසුම්කරුවන් පවසන්නේ මෙම පිහිටීම වීථියේ අනෙක්පස පිහිටන පැරණි ඉඩම්වල මායිම් රේඛාවලට සමපාත කළ හැකිබව යි.
චීන අවන්හලේ එක් කෙළවරක් මුල් නිවස සමග අතිච්ඡාදනය වන අතර, හකාසන්හි සාමාන්‍යාධිකාරී ෂැරන් වයිට්මන් පවසන්නේ අවන්හලට ඇති රාජකීය සබැඳුම ඔවුන්ගේ "අමුත්තන් ද ඉතා ප්‍රිය කරන, විචිත්‍රවත් හා රසවත් කතා මාතෘකාවක්" බව යි.
කෙසේ නමුත්, රැජිණගේ පැරණි නිවහන දැන් අසල්වැසි ආයතනික පිවිසුමේ වීදුරුවලින් ප්‍රතිස්ථාපනය වී ඇත.
ඊට යාබද බිත්තියක රැජිණ උපන් ස්ථානය සලකුණු කරමින් පිහිටවූ ඵලකයන් දෙකක් සවිකර ඇති අතර, මින් එක් ඵලකයක් වෙස්ට්මින්ස්ටර් නගර සභාවෙන් සවිකරන ලද්දකි. ගොඩනැගිලිවල වෙනස්කම් සිදුකරද්දී වෙනත් ස්ථානයන්ට මාරු කෙරුණු මේවා දැන් මුල් ඉඩමේ එක් කොණකට වන්නට සවිකර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Topical Press Agency / Getty Images
මෙයට 'බ්ලූ ප්ලාර්ක්' (නිල් ඵලකයක්) (ඉතිහාසයේ එන ප්‍රසිද්ධ පුද්ගලයන්ට සම්බන්ධ ස්ථානයන් විශේෂයෙන් සලකුණු කරන අලංකෘත ඵලකයක්) ලබා දී නොමැති අතර, ඒවා ලබන්නේ කුමන ස්ථානයන්දැ යි තීරණය කරන ලාභ නොලබන ආයතනය වන 'ඉංග්ලිෂ් හෙරිටේජ්හි' මාධ්‍ය ප්‍රකාශිකාව ප්‍රකාශ කළ පරිදි මීට හේතුවී ඇත්තේ මුල් ගොඩනැගිල්ල මේ වන විට දක්නට නොලැබීම යි.
වෙස්ට්මිනිස්ටර්හි සැලසුම් අංශයේ ටෝබි කත්බර්ට්සන් පවසන්නේ මෙය ඉතා පුළුල්, ඉහළ පන්තියේ, "පළමු පෙළ" ලන්ඩන් දේපලක්ව තිබෙන්නට ඇතිබව යි - නමුත් ඉතා ධනවත් පුද්ගලයින්ගේ නිවාස මීටත් පියවරක් ඉදිරියට යමින්, අංකයක් වෙනුවට නමක් දරන්නට ඇත.
1926 දී රැජිණ ඉපදුණු විට, ඇගේ රාජකීය මිත්තණිය සහ මුත්තණුවෝ පළමු දිනයේ දීම ඇය දකින්නට පැමිණියෝ ය. සිය මිණිපිරිය, "අලංකාර සමකින් ද, පැහැපත් කදිම කෙස් කළඹකින් ද යුත් පුංචි සුන්දරියක්යැ" යි මේරි රැජින සිය දිනපොතෙහි සටහන්කර තිබුණි.
එකල ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් විලියම් ජොයින්සන්-හික්ස්ට හදිසියෙන්ම පැමිණෙන්නට සිදුවූ ස්ථානය ද එය යි. මන්ද, එවන් රාජකීය උපතක් සඳහා ස්වදේශ කටයුතු ලේකම්වරයා ද සහභාගී වීම එකල ක්‍රියාපිළිවෙල විය. ඔහු කෙතරම් ඒකාධිපතියෙකු ලෙස සැලකුණේ ද යත්, ඔහුට "කනිෂ්ඨ මුසෝලිනී" යන අන්වර්ථ නාමය ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Topical Press Agency / Getty Images
රැජිණගේ මව වූ එළිසබෙත් බෝව්ස් ලයන් 1923 වසරේ අප්‍රේල් මාසයේ යෙදුණු ඇගේ විවාහ මංගල දිනයේ දී, ඈ විවාහ ගිවිස සිටි ලැජ්ජාශීලී තරුණයා වූ එකල යෝක්හි ආදිපාදවරයා වෙත යෑමට පිටත්වූයේ මෙම නිවෙසේ සිට ය. ඉන් හරියටම තෙවසරකට පමණ පසු, සිය පළමු දරුවාගේ උප්පත්තිය සඳහා යුවල නැවතත් එම නිවසට පැමිණියහ.
හාර්ලි වීථියේ, භාෂණ චිකිත්සක ලයනල් ලෝග්ගේ පුද්ගලික චිකිත්සකාගාරය පිහිටා තිබුණේ ද මෙම නිවෙසේ සිට ඇවිද යන දුරකිනි. 1926 වසරේ සිට අනාගත රජුගේ ගොතය මැඩීමට ප්‍රතිකාර කළේ ඔහු ය.
සංචාරක ගමන්මඟේ නොපිහිටි නිවෙසක්
මේෆෙයා, ඉහළ පන්තියේ සාදවලින් ද, ජේත්තුකාර සභාවන්ගෙන් ද පිරුණු ප්‍රදේශයක් වන්නට ඉඩ තිබුණි.
නමුත් එය දේශපාලනික අස්ථාවර, භේදයන්ගෙන් පිරි සමයක් ද විය. මහා වැඩ වර්ජනය කැඳවුණේ රැජිණගේ උපතින් සති කීපයක් පමණක් ගෙවුණු තැන වූ අතර, ඇගේ පියපස මුත්තණුවන් වූ පස්වැනි ජෝර්ජ් අධිරාජයා, "ඒ මිනිස්සුන්ව විනිශ්චය කරන්නට ප්‍රථම ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන් ද කියලා උත්සාහ කරලා බලන්නැ"යි දැනමුතුකම් දී තිබුණි.
එම වසරේ දීම රැජිණත්, ඇගේ දෙමාපියනුත් පිකැඩිලියේ පිහිටි වඩාත් විශාල නිවෙසක පදිංචියට ගියෝ ය.

ඡායාරූප මූලාශ්‍රය, London Metropolitan Archive
බෲටන් වීථියේ පිහිටි නිවෙස පසුකාලීනව කාර්යයාලබවට හරවන්නට සැලසුම්කර තිබූ අතර, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇඳි සටහන්වලින් රැජිණ ඉපදුණු කුටිය ද ඇතුළු එහි කාමර පනේල යොදා, කුටීරවලට බෙදා, කාර්යයාල සේවකයින් වෙනුවෙන් යළි සැලසුම් කෙරෙන ආකාරය දැක්වුණි.
"පළමු තට්ටුවේ පිහිටි, පුංචි කුමරිය ඉපදුණු කාමරය, සියලු කාමර අතරින් අලංකාරයෙන් අවම කාමරයක් වන නමුත් හිරු එළියෙන් පිරී ඉතිරෙන්නක්," එකල ලියැවුණු පුවත්පත් වර්තාවක සඳහන් විය.
නමුත් පසුව මෙම නිවෙස කඩා බිඳදැමුණි - අද එය එවන් ඓතිහාසික ස්ථානයක් සඳහා නොගැලපෙන තරමට අප්රසිද්ධව පවතියි. අනාගත රජෙකුට සහ රාජිණියන් දෙදෙනෙකුට පවුලේ නිවහන වූ පුද්ගලික නිවෙස් ලන්ඩනයේ වේ නම් ඒ අල්පයකි - නමුත් එය සංචාරක ගමන්මඟේ නොපිහිටන තරමි.
"මම හිතන්නේ ඒකෙන් පෙන්නන්නේ රැජිණගේ නිහතමානී ස්වභාවය," ඉතිහාසඥ රොබර්ට් ලේසි පවසයි. "එතුමිය තමන්ගේ හොරණෑව තමන්ම පිඹින කෙනෙක් නෙවෙයි."
වර්තමාන වටිනාකම
මෙම ඉඩම තවමත් රාජකීය වතුයායක කොටසක් වන නමුත් මේ වන විට එය අයත් වන්නේ අබුඩාබි රාජකීය පවුලේ වතුයායට ය - ලන්ඩනයේ මෙම කොටසේ දේපොළ සම්බන්ධ පෝට්ෆෝලියෝවක දැක්වුණු පරිදි එය පවුම් බිලියන 5ක් වටිනාබව කියැවේ.
1930 ගණන්වල මුල දී බෲටන් වීථියේ අංක 17 මුල් නිවෙස කළමනාකරණය කෙරුනේ නයිට් ෆ්රෑන්ක් වතු ඒජන්සියේ සම-ආදිකර්තෘ හවර්ඩ් ෆ්රෑන්ක් අතිනි.

නූතන මේෆෙයාහි නයිට් ෆ්රෑන්ක් සමාගම වෙනුවෙන් සේවය කරන සයිමන් බර්ගොයින් පවසන පරිදි, එකල මෙම ජේත්තුකාර ප්‍රදේශයේ පිහිටා තිබී ඇත්තේ ගම්බද වතුයාය හිමි රදළ පවුල්වල ලන්ඩන් තට්ටු නිවාස යි.
"ඒත් යුද්ධෙන් පස්සේ කාටවත් මේ පරණ, නිතර අලුත්වැඩියා කරන්න අවශ්‍ය වුණු විශාල ගොඩනැගිලි නඩත්තු කර කර තියාගන්න බැරිවුණා. ඒ නිසා ඒවායින් වැඩිමනක් කාර්යයාල ගොඩනැගිලිවලට හැරවුණා," ඔහු කියයි.
මේ වන විට මෙහි කාර්යයාල ගොඩනැගිලි නැවත සුඛෝපභෝගී නිවාස දේපොළබවට පරිවර්තනය කෙරෙමින් පවතින අතර, එනිසා මෙය දැන් "සම්පූර්ණ වටයක්" පැමිණ ඇතැ යි බර්ගොයින් පවසයි. මුල් නිවෙස නොනැසී පැවතුනේ නම් එයට පවුම් මිලියන 25කට වැඩි වටිනාකමක් තිබෙණු ඇතිබවත්, ඇතැම් විට එය පවුම් මිලියන 100ක් පමණ දක්වා ඉහළ යෑමේ ශක්‍යතාව තිබූබවත් ඔහු ප්‍රකාශ කරයි.
රහස් පෙම්වතා
නමුත් 1937 දී නිවෙස සමතලාකර දැමුණු අතර - ඒ අතරේ සිදුවූ අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් ළාබාල එළිසබෙත් සහ ඇගේ දෙමාපියන් බකිංහැම් මාළිගයේ ස්ථිර පදිංචියට යැවුණි.
දික්කසාද වූ ඇමරිකානු ස්ත්‍රියක වන වොලිස් සිම්සන් සමග විවාහවීමට රජකම දැරූ අටවැනි එඩ්වර්ඩ් රජු සැලසුම් කිරීම නිසා 1936 වසරේ දී සිහසුන අත්හැරීමෙන් ඇතිවූ අර්බුදයේ ප්‍රතිඵල ලෙස, ඔහුගේ සොහොයුරු ද වූ එළිසබෙත් කුමරියගේ පියා සයවැනි ජෝර්ජ් ලෙස ඔටුන්න හිමිකර ගත්තේ ය.
මෙම දේශපාලන සංක්ෂෝභය පුරාවට රජයේ ඔත්තු සේවා නිලධාරීන් සිම්සන් පසුපස හඹාගිය අතර, ඇය ගයි මාකස් ට්රන්ඩල් නම් මෝටර් රථ අලෙවිකරුවෙකු සමග පෙම් සබඳතාවක් පවත්වා ඇතැ යි ඔවුන්ගේ වාර්තාවන්හි දැක්වේ.
කතාවට පෙරළිකාර අවසානයක් දෙමින්, මෙම "කමනීය වික්‍රමිකයාගේ" ලිපිනය ලෙස ඔවුන් සොයාගත්තේ බෲටන් වීථියේ අංක 18 ස්ථානය යි! අද එය ඊටම ඔබිනා ලෙස බෙන්ට්ලි මෝටර් සමාගමේ අලෙවි නියෝජිතායතනයේ කොටසක්ව පවතියි.










