අවුං සාං සූ චී : බලයෙන් පහකළ නායිකාවට මියන්මාර අධිකරණය වසර 04 ක සිර දඬුවමක් නියම කරයි.

Aung San Suu Kyi

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සූ චීට එරෙහිව චෝදනා 11ක් එල්ල වී ඇති අතර, ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කර ඇත.

බලයෙන් පහකළ මියන්මාර නායිකා අවුං සාං සූ චීට වසර හතරක සිරදඬුවමක් නියම කර ඇති අතර, එය ඇයව ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි තීන්දු මාලාවේ පළමුවැන්නයි.

විසම්මුතිය ඇති කිරීම සහ කොවිඩ් නීති කඩ කිරීම යන චෝදනා මත ස්වාභාවික ආපදා නීතිය යටතේ ඇය වැරදිකාරිය විය.

සූ චීට එරෙහිව චෝදනා 11ක් එල්ල වී ඇති අතර, ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කර ඇත.

පෙබරවාරි මාසයේ සිට ඇය නිවාස අඩස්සියේ පසුවුයේ ජනමතයෙන් තේරී පත් වූ සිවිල් ආණ්ඩුව පෙරලා දමා එහි නායකයින් රඳවා තබා ගනිමින් හමුදා කුමන්ත්‍රණයක් දියත් කළ බැවිනි.

සූ චී සිරගත කරන්නේ කවදාද යන්න පැහැදිලි නැත.

සම-විත්තිකරු වූ සූ චී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ හවුල්කාර පක්ෂයේ නායකයා සහ හිටපු ජනාධිපති වින් මින්ට් (Win Myint) ද එම චෝදනා යටතේම සඳුදා වසර හතරකට සිරගත කරන ලදී.

සමාජයේ පුළුල් ලෙස මෙම දඬුවම හෙළා දැක තිබේ.

"මෙම ව්‍යාජ චෝදනා මත අවුං සාං සූ චීට ලබා දී ඇති දැඩි දඬුවම් මියන්මාරයේ සියලු විරුද්ධ මතවාදීන් තුරන් කිරීමට සහ නිදහස අවහිර කිරීමට හමුදාවේ ඇති අධිෂ්ඨානය පිළිබඳ නවතම උදාහරණයයි" යනුවෙන් ඇම්නෙස්ටි ව්‍යාපාරයේ කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂ මිං යූ හා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

'අරගල කර'සූ චී

76 හැවිරිදි නායිකාවට දූෂණ චෝදනා සහ නිල රහස් පනත උල්ලංඝණය කිරීම ඇතුළු විවිධ චෝදනා රාශියක් එල්ල වී තිබේ.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු, උසාවියට පැමිණීමේ කෙටි කාලය හැර ඇය ගැන දැක හෝ අසා ඇත්තේ අල්ප වශයෙනි.

ප්‍රජාතන්ත්‍රවාදයට ගැති පුද්ගලයන් සහ කුමන්ත්‍රණයේ විරුද්ධවාදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වන අලුතින් පිහිටුවන ලද ජාතික සමගි ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු මීට පෙර බීබීසීයට පවසා තිබුණේ සූ චී අරගල කරමින් සිටින බවයි.

"ඇයට සනීප නෑ... හමුදා ජෙනරාල්වරු ඇයට වසර 104 ක සිරදඬුවමක් ලබා දීමට සූදානම් වෙනවා. ඔවුන්ට අවශ්‍ය ඇය සිරගෙදරදී මිය යාමයි," වෛද්‍ය සාසා පැවසීය.

එන්.එල්.ඩී පක්ෂය විශිෂ්ට ජයක් ලැබු පසුගිය වසරේ පැවති මහමැතිවරණයේදී ඡන්ද වංචාවක් කළ බවට, චෝදනා කරමින් මියන්මාර හමුදාව විසින් එරට බලය අත්පත් කර ගන්නා ලදි.

කෙසේ වෙතත්, ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් පවසා ඇත්තේ මැතිවරණය බොහෝ දුරට නිදහස් හා සාධාරණ එකක් වූ බවයි.

හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු මියන්මාරයේ විරෝධතා පුළුල්ව පැතිරුණු අතර මියන්මාර හමුදාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගැති විරෝධතාකරුවන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මර්දනය කර ඇත.

දේශපාලන සිරකරුවන් සඳහා වූ අධීක්ෂණ කණ්ඩායමට අනුව, පෙබරවාරි මාසයේ සිට ජුන්ටාව විසින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් 10,600කට වැඩි සංඛ්‍යාවක් අතරින් සූ චී එක් අයෙකි. අවම වශයෙන් තවත් 1,303 දෙනෙකු පෙළපාලිවලදී මිය ගොස් ඇත.