නොබෙල් ත්‍යාගලාභී මලාලා යුග දිවියට එළැඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Malin Fezehai
නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වූ ඉස්ලාමීය විවාහ මංගල්‍යයක් මඟින් සිය සහකරු සමග "අතිනත ගෙන" ඇත.
ඈ සහ ඇගේ සහකරු අසර් මලික් "නිකා" උත්සවයක් පවත්වා තිබේ. ඉස්ලාමීය සිරිත අනුව මනාලයා සහ මනාලිය විවාහයට කැමැත්ත පළකරන්නේ "නිකා" උත්සවයේ දී ය.
විසි හතර හැවිරිදි ක්‍රියාකාරිනිය ප්‍රකාශ කළේ එය ඇගේ දිවියේ "මාහැඟි දිනයක්" බව යි.
තාලිබාන් සංවිධානය 2012 වසරේ දී ඇගේ හිසට වෙඩි තැබීමෙන් අනතුරුව, පාකිස්තානු ජාතික කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනිය තම ජීවිතාරක්ෂාව පතා එංගලන්තයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශය වෙත සංක්‍රමණය වූවා ය.
"අසර් සහ මම දිවි ඇති තෙක් සහකරුවන් වශයෙන් ඉන්නට අතිනත ගත්තා," අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පවසා තිබුණි. ඇය මෙසේ පැවසුවේ, "පවුලේ අයත් සමග පොඩියට නිකා උත්සවයකට" සහභාගී වූබව ද ලෝකය සමග බෙදාහදා ගන්නා අතරේ ය.
"දෙදෙනා එක්ව යන ඉදිරි ගමනක් ගැන අපි හරිම උද්යෝගයෙන් ඉන්නේ," ඇය සඳහන් කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Malin Fezehai
විසි හතර හැවිරිදි මලාලා, ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් පාකිස්තානයේ තාලිබාන් ත්රස්තවාදීන්ගේ ඉලක්කයට ලක්වන විට පසුවූයේ 15 වැනි වියේ ය.
පාකිස්ථානයේ වයඹදිග ස්වාත් නිම්නයේ දී ඇය ගමන් කළ පාසැල් බස්රියට ගොඩවූ තාලිබාන් සටන්කාමියෙකු රථය තුළ සිදුකළ වෙඩි තැබීමෙන් මලාලාත්, ඇගේ පාසැල් මිතුරියන් දෙදෙනෙකුත් තුවාල ලැබුවෝ ය. හිසට වෙඩි වැදුණු නමුත් මලාලා දිවි ගලවා ගැනීමට සමත් වූවා ය.
මරණීය තුවාලවලින් සුවය ලැබූ පසු මලාලාත්, ඇගේ පවුලේ අයත් බර්මින්හැම් වෙත පදිංචියට ගිය අතර, පසුකලෙක ඇය එය හැඳින්වූයේ සිය "දෙවන නිවහන" වශයෙනි. නොබෙල් සාම ත්‍යාගය දිනූ ළාබාලතම තැනැත්තිය බවට පත්වීමට 17 හැවිරිදි වියෙහි සිටිය දී ඇයට හැකිවිය. අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළු වූ ඇය මේ වන විට මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක බවට පත්ව ඇත.
උපාධිය ලබාගැනීමෙන් අනතුරුව, ඇෆ්ගන් සරණාගතයින් සඳහා වැඩි සහයෝගයක් දෙන්නැ යි ඉල්ලා සිටීම, වාර්තා වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා Apple TV+ සමග ගිවිසුමක් අත්සන් කිරීම, සහ British Vogue (බ්‍රිටිෂ් වෝග්) සඟරාවේ කවරයේ පෙනී සිටීම යනාදියෙහි මලාලා නිරත වී ඇත. ඇය මේ සියල්ල සිදුකළේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව වැඩි දියුණු කිරීමේ ඇගේ සමාජ කාර්යය සිදුකරනා අතරතුරේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Malin Fezehai
නීත්‍යානුකූල ගිවිසුමක් ලෙස ගණන් නොගැනුණත්, ඉස්ලාමීය විවාහයක පළමු පියවර වන්නේ නිකා උත්සවය යි.
බොහෝවිට වෙනම උත්සවයක් පුද්ගලිකව ද පැවැත්වෙන අතර, මෙම යුවල එම ආකාරයේ වෙනම සිවිල් උත්සවයක් පැවැත්වූයේදැ යි ක්‍රියාකාරිනිය විසින් සඳහන් කර නොතිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මලාලා විවාහය සම්බන්ධයෙන් ඇය තුළ පැවැති සැකයන් මින් පෙර අවස්ථාවක දී ප්‍රකාශකර තිබේ.
ජුලි මාසයේ වෝග් සඟරාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙසේ පැවසුවා ය: "මිනිස්සු විවාහ විය යුත්තේ ඇයි ද කියන එක මට තවමත් තේරෙන්නේ නෑ."
"ඔයාට ඔයාගේ ජීවිතේට කවුරුහරි කෙනෙක්ව හවුල්කර ගන්න ඕනේ නම්, ඇයි ඔයා කසාද සහතික අත්සන් කරන්නම ඕන? ඇයි අපට නිකන්ම සහකරුවෝ වගේ ජීවත් වෙන්න බැරි?" ඇය අසා සිටියා ය.
"අම්මා මට කියනවා, 'ඒ වගේ දෙයක් කියන්න හිතන්නවත් එපා! ඔයාට කසාද බඳින්න සිද්ධ වෙනවා, කසාදෙ හරිම සුන්දර යි' කියලා."
විවාහ උත්සවය පිළිබඳ ප්‍රවෘත්තියට රසිකයින් දස දහස් වාරයක් 'ලයික්කර' ඇති අතර, දහස් ගණනක් දෙනා නව යුවලට සුබ පැතුම් එක්කළහ.











