ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම: කාබුල්හි සැඟවී සිටින ක්‍රීඩිකාවෝ තාලිබාන් පාලනය කෙරෙහි බිය පළකරති

BBC Sport Insight banner
A Taliban fighter walks past a beauty salon with images of women defaced using spray paint in Shar-e-Naw in Kabul on August 18, 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තාලිබාන් සටන් කරුවෙක් කාබුල්හි කාන්තාවන්ගේ ජායාරූප විකෘති කරන ලද රූපලාවන්‍යාගාරයක් පසුකර යමින්

අසෙල් සහ ඇගේ ජාත්‍යන්තර කණ්ඩායම් සාමාජිකාවන් බොහොමයක් සැඟවී සිටිති. අසෙල් යනු ඇගේ නියම නම නොවේ. තාලිබාන් සංවිධානය දැනටමත් ඇෆ්ගනිස්ථානයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සොයමින් සිටී.

"ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩා කරන සෑම කාන්තාවක්ම දැන් ආරක්ෂිත නැහැ," ඇය පවසයි. "කාබුල්හි තත්ත්වය ඉතාමත් නරකයි."

"වට්ස්ඇප් හි ඇති අපේ සමූහය තුළ සෑම රාත්‍රියකම අපි කතා කරන්නේ අපේ ගැටලු ගැනයි. අප කළ යුතු දේ ගැන සැලසුම් බෙදාහදා ගන්නවා. අපි සියල්ලගේ ම බලාපොරොත්තු සුන් වෙලා."

අගෝස්තු මැද භාගයේදී තාලිබාන් සංවිධානය කාබුල් නගරයට ඇතුළු වූ පසු අසෙල් මේ වන තෙක් ඇගේ නිවසින් පිටව ගොස් නැති තරම්ය. ඇගේ ක්‍රිකට් කට්ටලය අගුළු දමා ඇත. ඇයගේ කණ්ඩායමේ එක් සාමාජිකාවක නගරයේ ඉලක්ක වූ ආකාරය ඇය පැහැදිලි කළාය.

"ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරන ගමේ, ඔවුන්ව හඳුනන සමහර අය තාලිබාන් සංවිධානය සමඟ වැඩ කරනවා. තාලිබාන් සංවිධානය මෙහි පැමිණ කාබුල් නගරය අල්ලා ගත් විට ඔවුන් තර්ජනය කළේ, 'ඔබ නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උත්සාහ කළහොත් අපි පැමිණ ඔබ මරා දමනවා කියායි." අසෙල් පැවසීය.

අන්වර්ථ නාමයක් භාවිත කරන තක්වා ද වසර ගණනාවක් ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී සිටියාය. කාබුල් නගරය තාලිබාන් සංවිධානය අතට පත්විමෙන් පසු ඇයට රටින් පලා යාමට හැකි විය. ඇය පළා යාමට පෙර සතියේදී තමන් හඳුනා ගනී යැයි බියෙන් සැඟවී සිටීම සඳහා ගෙයින් ගෙට යාමට ඇයට සිදුවිය. තාලිබාන් සංවිධානය ඇගේ පියාට දුරකථනයෙන් ඇමතූ නමුත් ඔහු පැවසුවේ ඔහු ඇය සමඟ සම්බන්ධතාවක් නැති බවය.

"කුමක් සිදුවන්ට තිබුණේදැයි සිතීමට මට අවශ්‍ය නැහැ," ඇය පැවසීය. "තාලිබාන් සංවිධානය කාබුල් වෙත පැමිණි විට සතියක් මම කිසිවක් කෑවේ නැහැ, මට නින්ද ගියේත් නැහැ."

"මම මා ගැන පමණක් නෙවෙයි මගේ ගැහැනු ළමයින් ගැනද සිතමිනුයි හිටියේ. ඔවුන් ජීවිත පරිත්‍යාග කරමින්, ඉගෙනීම් කටයුතු අතපසු කරමින්, සමහරු විවාහ නොවී සිටියේ ඇෆ්ගනිස්ථානයට ක්‍රීඩා කිරීමටයි. මම ඔවුන්ගේ ජීවිතය ගැන දැඩි ලෙස කනස්සල්ලෙන් ඉන්නේ."

තවත් හිටපු ක්‍රීඩිකාවක වන හරීර් උපකල්පිත නමක් භාවිත කරමින් බීබීසියට පැවසුවේ ඇෆ්ගන් කාන්තාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් අදහස් වන්නේ කඩුලු ලබා ගැනීම සහ ලකුණු රැස් කිරීම ම පමණක් නොවන බවය.

"මම ක්‍රීඩා කරන විට මට හැඟෙන්නේ ශක්තිමත් කාන්තාවක් ලෙසයි," ඇය පැවසීය. "මට ආත්ම විශ්වාසයක් දැනෙන අතර මා ගැන ආඩම්බරයක් දැනෙනවා."

"ඕනෑම දෙයක් කළ හැකි, තමන්ගේ සිහින සැබෑ කළ හැකි කාන්තාවක් ලෙස මට මා ගැන සිතන්නට පුළුවන්."

නමුත් හරීර්ට සහ ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සෙසු සාමාජිකාවන්ට එම සිහින මෙතනින් අවසාන විය හැකිය.

වසරකටත් අඩු කාලයකදී බොහෝ බලාපොරොත්තු ඇති වූ බවක් පෙනෙන්නට තිබුණි, නමුත් දැන් ඔවුන් තම ආරක්ෂාව ගැන බිය වන අතර උදව් කළ හැකි යැයි ඔවුන් විශ්වාස කරන ක්‍රීඩා බලධාරීන් විසින් ඔවුන්ව අතහැර දමනු ලැබ ඇති බවක් ඔවුන්ට දැනේ.

Short presentational grey line

ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය සුරංගනා කතාවක් ලෙස පෙනුණි.

තාලිබාන් සංවිධානය ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර වසරකට පසු, 2001 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් ඇෆ්ගනිස්ථානයට අනුබද්ධිත සාමාජිකත්වය දෙනු ලැබීය. වැඩි කල් නොගොස් තාලිබාන් සංවිධානයේ පාලනය පෙරලා දැමූ විට, පාපන්දු වැනි අනෙකුත් ක්‍රීඩා සමඟ ක්‍රිකට් වර්‍ධනය වීමට පටන් ගත්තේය.

"පසුගිය අවුරුදු 20 ගැන සොයා බැලුවහොත්, අපට යුද්ධයක් පැවතුණා, මරාගෙන මැරෙන ප්‍රහාර ඇතිවුණා, අපට ගැටලු රාශියක් තිබුණා. නමුත් මුළු මහත් ජාතියම සතුටු වූ එකම අවස්ථාව ඔවුන් චිත්තවේගීයව සම්බන්ධ වූ එකම අවස්ථාවයි ... ඒ ක්‍රීඩාව අතරතුරයි," බීබීසී හි පෂ්තෝ හි සංස්කාරක ඉමාල් පසර්ලි, අගෝස්තු මාසයේදී ස්පෝර්ට්ස් ඩෙස්ක් පොඩ්කාස්ට් වෙත පැවසීය.

"මිනිසුන් සතුටු වන කාලයක් හෝ ස්ථානයක් ලබා දුන්නේ නම් ඒ ක්‍රීඩාව පමණක් වන අතර එමගින් ඔවුන්ට අවට සිදුවන අනෙක් දේ අමතක කළ හැකිවුණා."

2000 දශකය පුරාම පිරිමි කණ්ඩායම ලෝක වේදිකාවේ උල්කාපාතයක් වැනි ක්ෂණික කීර්තියක් ඇති නැගීමක් ආරම්භ කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් උන්මාදය වර්ධනය විය.ඔස්ට්‍රේලියාවේ පැවති 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන් සුදුසුකම් ලැබූ විට රට පුරා වීදි සැමරුම් පැවැත්විණි. 2017 දී ඔවුන්ට ටෙස්ට් තත්ත්වය හිමි විණි.රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබි වැනි ක්‍රීඩකයින් දැන් ජාත්‍යන්තර තාරකාවන් වන අතර රට පුරාම ඔවුන් ගෞරවයට පාත්‍ර වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රථම ජාතික කාන්තා කණ්ඩායම පිහිටුවන ලද්දේ 2010 වසරේදී ය. මුල සිටම ඔවුන්ට බාධා එල්ල විණි.

මුල් අවධියේදී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ඒසීබී) කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර තරඟාවලි කිහිපයකදීම ක්‍රීඩා කිරීම වළක්වාලුයේ "තාලිබාන් තර්ජන" ඇති බව පවසමිනි.

2012 දී කණ්ඩායම තජිකිස්තානයේ පැවති කණ්ඩායම් හයක කලාපීය තරඟාවලියක් සඳහා සහභාගී වූ අතර ඔවුහු එය ජයග්‍රහණය කළහ. නමුත් වසර දෙකකට පසු ඔවුන් එයින් ඉවත් කෙරිණ. එම තීරණයට තාලිබාන් තර්ජන හේතුවූ බව ඒසීබීය නැවතත් පැවසීය.

Afghan girls play cricket on the school grounds in Kabul on December 28, 2010

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2010 සිට - ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමයින් කාබුල්හි සිය පාසල් පිටියේදී ක්‍රිකට් ක්‍රීඩා කරති

කණ්ඩායම විසුරුවා හැර තිබියදීත්, ගැහැණු ළමයින් සහ තරුණියන් ඇෆ්ගනිස්ථානය පුරා තාවකාලික කඩුලු මත දිගටම ක්‍රීඩා කළහ. කාන්තා තරග සංවිධානය කිරීම සඳහා ඒ වනවිටත් ඒසීබි හි සුළු කාර්ය මණ්ඩලයක් සිටියහ.

නමුත් මෙම නව පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට එම ගැටලුව දිගටම පැවතුනි.

හරීර් පවසන්නේ ඒසීබී තුළ බොහෝ දෙනෙක් සහයෝගය නොදැක්වූ අතර කාන්තාවන් වෙනුවෙන් තරඟ පැවැත්වීමට ඔවුන් කටයුතු කරන්නේ තමන් ඒ සඳහා බැගෑපත් වුවහොත් පමණක් බවය.තණතීරුවේ සිටින විට හැසිරෙන ආකාරය පිළිබඳව පාලක මණ්ඩලයේ සාමාජිකයින් ගැහැණු ළමුන්ට කියා දෙන බව ඇය පැවසීය.

"මම පන්දු යවන්නෙක්, මම කඩුල්ලක් ලබා ගත් විට කෑගසා මට ඒ සතුට ප්‍රකාශ කළ හැකි ආකාරයට ක්‍රියා කළ නොහැකියි, ඒ පිරිමින් මා දෙස බලා සිටින නිසා," ඇය පවසයි.

"මම මගේ හැඟීම් පාලනය කර ගත යුතුයි, මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට සහයෝගය දැක්වීම සඳහා මට කෑගහන්න බැහැ, මට ඔවුන්ට සහයෝගය දෙන්න බැහැ. ඔවුන් කියනවා: 'ඔබ සැමරිය යුතු නැහැ, ඔබ කෑගැසීම හෝ ඉරියව් ප්‍රදර්ශනය නොකළ යුතුයි කියා"

නමුත් පිරිමි කණ්ඩායමේ ප්‍රතිරූපය වර්ධනය වීමත් සමඟ කාන්තා ක්‍රීඩාව වඩාත් බැරෑරුම් ලෙස සැලකීම ආරම්භ කිරීමට ඒසීබීයට සිදු විය.

අයිසීසී හි (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) පූර්ණ සාමාජිකයින් 12 දෙනාට ජාතික කාන්තා කණ්ඩායමක් සිටීම අවශ්‍යතාවක් විණි. ඇෆ්ගනිස්ථානය පූර්ණ සාමාජිකත්වය ලැබුවේ 2017 දී ය. ඒ අනුව 2020 නොවැම්බර් මාසයේදී ක්‍රිකට් ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට කොන්ත්‍රාත් ලබා දීමට එය මග පෑදීය.

ඇෆ්ගනිස්ථානයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් බලාපොරොත්තු උදාවන බව පෙනුනේ මීට මාස 10 කට පෙරය. එහෙත් එම බලාපොරොත්තුව කෙටි කලකින් සුණු විසුනු වී යන බවක් පෙනෙන්නට තිබේ.

1996 සිට 2001 දක්වා කාලය තුළ පැවති තාලිබාන් සංවිධානයේ පෙර පාලන කාලය තුළ ගැහැනු ළමුන් හා ගැහැණුන් සඳහා සෑම අධ්‍යාපනයක්ම පාහේ තහනම් කරන ලදී (ගැහැණු ළමයින්ට වයස අවුරුදු 8 න් පසු පාසල් යාමට ඉඩ නොදිණි), කාන්තාවන්ට රැකියාවක් කිරීමට හෝ පිරිමි ඥාතියකු නොමැතිව නිවසින් පිටව යාමට නොහැකි විය.

මෙවර වඩාත් මධ්‍යස්ථ ප්‍රතිරූපයක් නිරූපණය කිරීමට තාලිබාන් සංවිධානය උත්සාහ කර ඇති නමුත්, කාන්තාවන්ට ක්‍රීඩාවට සහභාගී වීමේ අවස්ථාව ඉතා අල්පය.

ඒසීබී හි ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි කියා සිටියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොවැම්බර් මාසයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා අනුමැතිය ලබා ඇති පිරිමි කණ්ඩායමට තාලිබාන් සංවිධානය සහයෝගය ලබා දෙන බව පැවසූ බවය.නමුත් ඔහු බීබීසියට පැවසුවේ කාන්තා කණ්ඩායම නවත්වනු ඇතැයි අපේක්ෂා කරන බවය. මෙය අයිසීසී ය තුළ ඇෆ්ගනිස්තානයේ සාමාජිකත්වය උල්ලංඝනය කිරීමක් වනු ඇත.

An American military plane prepares to depart Kabul airport carrying evacuees, on 21 August

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගෝස්තු 21 වන දින ඇමරිකානු හමුදා ගුවන් යානයක් කාබුල් ගුවන් තොටුපලෙන් ඉවත් වන අය රැගෙන පිටත් වීමට සූදානම් වෙමින්

අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියානු රජය විසින් මලල ක්‍රීඩිකාවන් 50 දෙනකු ඉවත් කරගනු ලැබුවාක් මෙන් තාලිබාන් පාලනයෙන් ගැලවීමට ඇෆ්ගනිස්ථානයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිස ද බලාපොරොත්තු දල්වාගෙන සිටිති.ඇෆ්ගනිස්ථානයේ සිටින පාපන්දු ක්‍රීඩකයින් සහ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් "සංකීර්ණ වූ ඉවත් කිරීමක් සඳහා සාකච්ඡා" කරන බව ලෝක පාපන්දු පාලක මණ්ඩලය වන 'ෆිෆා' පවසා තිබේ.

අයිසීසී හි ප්‍රකාශිකාවක පැවසුවේ, "ඔබ බලාපොරොත්තු වන පරිදි අපි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් සිටින අතර අප තත්වය නිරීක්ෂණය කරමින් සිටිනවා. අපගේ සහයෝගය ලබා දීමට ඉදිරිපත් වී සිටිනවා." යනුවෙනි.

නමුත් අයිසීසීය ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමඟ සෘජුවම සම්බන්ධ වී නැති බවත් ඒසීබී ඔවුන්ගේ සුභසාධනය ගැන එතරම් උනන්දුවක් දක්වා නැති බවත් තක්වා පවසන්නීය.

"අයිසීසී කිසි විටෙකත් අපට උදව් කරන්නේ නැහැ, ඔවුන් සැමවිටම අපව කලකිරීමට පත් කරනවා. අයිසීසී කතාකරන්නේ ඒසීබී නව සභාපතිවරයා මෙන් කාන්තා ක්‍රිකට් වලට එරෙහි පුද්ගලයින් සමඟයි." යනුවෙන් තාලිබාන් බලය අත්පත් කර ගැනීමෙන් පසු පත් කෙරුනු අසීසුල්ලා ෆස්ලි ගැන සඳහන් කරමින් ඇය වැඩිදුරටත් පැවසීය.

ඒසීබී තවමත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන්නේ දැයි කළ විමසීමකදී ෂින්වාරි පැවසුවේ "අනාගත රජය එය තීරණය කරාවි" යනුවෙනි.

Short presentational grey line

තමන්ට මුහුණ පෑමට සිදු වූ වාතාවරණය කුමක් වුවත්, කණ්ඩායමට නැවත එක්විය හැකි බව අසෙල් තවමත් විශ්වාස කරන්නීය. යහපත් අනාගතයක් සඳහා වූ සිය සිහින ගැන කතා කරන විට හරීර්ට ජීවයක් ලැබේ.

"මට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාවක් වීමට අවශ්‍යයි," ඇය පවසයි.

"මට අනෙක් මිනිසුන්ගේ ජීවිතය වෙනස් කළ හැකි ශක්තිමත් ඇෆ්ගනිස්තානු කාන්තාවක් වීමට අවශ්‍යයි. මට වෙනත් ඇෆ්ගන් කාන්තාවන් හා ගැහැණු ළමයින් සඳහා ආදර්ශයක් වීමට අවශ්‍යයි. මට අවම වශයෙන් ඇෆ්ගනිස්තානයේ පිරිමි සිත් කිහිපයක්වත් වෙනස් කිරීමට අවශ්‍යයි. මට මා ගැන ආඩම්බර වීමට අවශ්‍යයි. එපමණයි. "

අසෙල් තවදුරටත් මෙසේ පවසන්නීය: "ඇෆ්ගනිස්ථාන සංස්කෘතියේ කාන්තාවන්ට ක්‍රීඩාවට බලපාන බාධක තිබෙනවා. ඔවුන් පවසන්නේ කාන්තාවන් දුර්වල අතර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නිර්මාණ වූවන් නොවන බවත්යි. ඔවුන් විවාහ වී දරුවන් ඉපද්දවා ගෙදර දොර වැඩ කර දරුවන් ඇති දැඩි කළ යුතු බව ඔවුන් පවසනවා. තමන්ගේ ස්වාමිපුරුෂයන් රැකබලා ගත යුතුයි."

"මගේ පවුල තුළත් සමහර ඥාතීන් පවසන්නේ මට ක්‍රීඩා කළ නොහැකි බවයි. ඒ ඉස්ලාමීය සංස්කෘතිය තුළ කාන්තාවකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉඩ නොදෙන බවයි. නමුත් මම ක්‍රීඩාවට කැමතියි.

"අප සම්බන්ධයෙන් තත්වය නරකයි. නමුත් අපි හුස්ම ගන්නා විට බලාපොරොත්තුවක් තිබෙනවා. අපව රටෙන් පිටතට ගෙන වෙනත් තැනකට ගෙන ගියොත් අප නැවත පටන් ගන්නවා.

"අපි අපේ සිහින අත්හරින්නේ නැහැ, ඉන්ෂාඅල්ලාහ් [අල්ලාහ් කැමති නම්]."

මේ ගැනත් කියවන්න