පාස්කු ප්‍රහාරය සහ මුස්ලිම්වරු: "ජාතිවාදය වෙනත් ජාතිවාදයක් පෝෂණය කිරීම ගැන පාඩමක්"

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, උපාලි ගජනායක
- Role, BBC සිංහල
1915 ''සිංහල-මුස්ලිම් කෝලාහලය'' යනුවෙන් ඉතිහාසයට එක්ව ඇති ගැටුමින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව දුෂ්කර සහ අභියෝගාත්මක සමාජ උදහසට ලක්වූ ඊලඟ ප්‍රධාන විරසකය ප්‍රදර්ශනය වූයේ 2019 අප්‍රේල් 21 දින කිතුනු දේවස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය සමඟය.
''පාස්කු ඉරිදා ප්‍රහාරය'' ලෙස ඉතිහාසයට එක්ව ඇති එම ප්‍රහාරය මගින් විනාශ කෙරුණු ජීවිත සංඛ්‍යාව තුන්සියයකට ආසන්න වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික දේශසීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර මට්ටමින් පවා හෙලා දැකීමට ලක්වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන්නේ ඉස්ලාමීය අන්තවාදී බලවේගයන්ටයි.
ප්‍රහාරයේ වගකීම කවර හෝ අන්තවාදී සමූහයකට පැවරෙන නමුත් ප්‍රහාරකයන් සියලු දෙනා මුස්ලිමුන් යයි හඳුනාගනු ලැබීම නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස මිත්‍රශීලී නොවන ඇසකින් බැලීම සමාජයේ ස්වභාවික නැඹුරුව විය.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකරනු ලැබීමෙන් වසර දෙකකට පසු ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව දරන ආකල්පය පිළිබඳව විමසීමක් කිරීම කාලෝචිතය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක්
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලක කිරීමට පෙරසිටම වසර කීපයක තිස්සේ මුස්ලිම් විරෝධී සමාජ මතවාදයක් දල්වනු ලැබීමට අවශ්‍ය පරිසරයක් සකස් කෙරෙමින් පැවති බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති. සිය ප්‍රජාව ඉලක්ක කරගත්, වඳ පෙති,වඳ කොත්තු සහ වෙනත් ආහාර ආදියේ පටන් වඳ සැත්කම් තෙක් එම වාර්තාකරණය විහිද ගියබව සමස්ත ලංකා මුස්ලිම් සංගමය පවසයි. අන්තවාදීන් පිරිසක් විසින් මාවනැල්ලේ බුදුපිළිම විනාශකරනු ලැබීම මගින් එම ගින්නට පිදුරු එක් කෙරුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් එහි කූඨප්‍රාප්තිය ලකුණු කළ බවත් එකී සියල්ලේ එකතුව වූයේ සමස්ත සමාජය තුළ මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක් රෝපණය කිරීම බවත් සමස්ත ලංකා මුස්ලිම් සංගමය පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරයත් සමඟ මුස්ලිම් ජනයා සතු දේපොළ ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණ ප්‍රහාර කීපයක් වාර්තා වූ අතර මීගමුව අසල පෝරුතොට නගරයේ වෙළෙඳසල් දෙකක් විනාශ කරමින් එක් ත්‍රිරෝද රථයකට ගිනිතැබීමේ පුවතක් හමුදා බුද්ධි අංශය උපුටා දක්වමින් CNN පුවත්සේවය වාර්තා කළේය. එම තත්ත්වය යටතේ ''අන්තවාදීන් අතලොස්සකගේ ක්‍රියාවක් හේතුවෙන් සමස්ත මුස්‌ලිම් ජනතාවට එරෙහිව ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ කිතුනු ආගමික නායකත්වයට සිදුවිය.
වෙරළාසන්න නගරයක මාවතක මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු, කඩා බිඳ හෙලන ලද දේපොළ ආදියේ සුන්බුන් විසිර ඇති ආකාරය සහ පොලුමුගුරු ආදිය රැගත් මිනිසුන් සහිත දර්ශන CNN රූපවාහිනිය මගින් ප්‍රදර්ශනය කළ අතර, මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් විසින් මත්පන් අලෙවිසල් වසාදමන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි.
''මත්පැන් බිව්වාම මිනිස්සු ඇතැම්විට හැසිරෙන්නේ තිරිසනුන්ට සමානවයි'' උන්වහන්සේ ප්‍රකාශ කළහ.
''මරණ රාශියක් සිදුව ඇතත් සන්සුන්ව ක්‍රියාකරන ලෙස මම මහජනයාගෙන් ඉල්ලා සිටිනවා. බෞද්ධයන්ට, හින්දූන්ට සහ මුස්ලිම් ආගමික නායකයන්ට ස්තුති කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇතැම් කණ්ඩායම් ආගමික ගැටුම් ආරම්භ කිරීම සඳහා වාර්ගික වෛරය ඇවිලවීමට උත්සාහ දරමින් සිටිනවා'' මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු හිමියෝ එවක පෙන්වා දුන්හ.
''මෙයින් වසර දෙකකට පෙර 2019 අප්‍රියෙල් 21 දිනට යෙදුන පාස්කු ඉරිදා පාන්දර අන්තවාදී කණ්ඩායමක ප්‍රහාරයට ලක්වූ අහිංසක ජනතාව වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව කණගාටුවන'' බව සඳහන් කළ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ්, එම ප්‍රහාරය මුස්ලිම් ජනයාගේ සංවිධානාත්මක ක්‍රියාවක් ලෙස අර්ථගැන්වීම යථාර්ථය විකෘති කිරීමක් බව කියා සිටියේය.
''ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ප්‍රචණ්ඩ ප්‍රහාර අනුමත කරන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයට ජාතියක් හැටියට කිසිම සම්බන්ධයක් නැහැ. අපි එය තරයේ හෙලා දුටුවා විතරක් නොවෙයි, ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුගේ මළසිරුරක් වත් පල්ලියකට ගෙනැවිත් අවමඟුලක් සිදුකිරීම පවා අපේ ආගමික නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණා.''
''ශ්‍රී ලංකාවේ මුස්‌ලිම ජනතාව හැමදාමත් සෙසු ජාතීන් සහ වෙනත් ආගමික කණ්ඩායම් සමඟ සුහදවයි සිටියේ. නමුත් 2009 දී යුද්ධය නිමවීමෙන් පසුව මුස්ලිම් ජනයාට එරෙහි මතවාදයක් නිර්මාණය කෙරෙමින් තිබුණා. උදාහරණයක් විදිහට ගිංතොට සහ අලුත්ගම ප්‍රහාර පෙන්වාදෙන්න පුළුවන්. එම මුස්ලිම් විරෝධී මතවාදයේ කූඨප්‍රාප්තිය අප්‍රියෙල් 21 ප්‍රහාරයෙන් පසුව දකින්න ලැබුණා.'' ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පෙන්වා දුන්නේය.
''පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා ප්‍රජාවක් හැටියට බරපතල දුෂ්කර තත්ත්වයකට පත්කෙරුනු'' බවත් හිල්මි අහමඩ් පවසයි.
''අපි දැන් පසුවෙන්නේ හරියට යුද්ධකාලේ ජීවත්වුණා වගේ බියකින්. ගෙදරින් බැහැර වුණොත් ආපසු එනතෙක් බියක් පවතිනවා. නිදහස් මනසකින් වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ මානසිකත්වයක් නැහැ. බයක් තියෙනව''

එක ජාතිවාදයකින් තවත් ජාතිවාදයක්
''2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය අපි දැඩිලෙස හෙලා දකිනවා. නමුත් අපට එම සිද්ධියෙන් ඉගෙනගන්න හොඳ පාඩමක් තියෙනව. ඒක තමයි ''එක ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් පෝෂණය වෙනවාය'' කියන කාරණය'' තිහාරිය ඊබ්‍රාහිම් මුස්ලිම් ප්‍රධාන පල්ලියේ මවුලවි සහ කල්එලිය අරාබි කාන්තා විදුහලේ කථිකාචාර්ය මුනීර් මුලාෆර් බීබීසී සිංහල අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නේය.
2019ට පෙර පටන්ම රට තුළ මුස්ලිම් ජනයාට එරෙහි මතවාදයක් පතුරුවා හරිමින් තිබුණු බව සඳහන් කළ මවුලවි මුනීර් මුලාෆර් ''ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධයෙන් අනතුරුව ඊළඟ ඉලක්කය වන්නේ මුස්ලිම්වරුන් විය හැකි බවට තම ප්‍රජාව අතර බියක් පැතිරයමින් තිබූ බවත් සඳහන් කළේය.
''2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ සංවිධාන කීපයක් කෙලින්ම මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් විවිධ සාවද්‍ය ප්‍රචාර ගෙනයමින් තිබුණා. ඊළඟට ගිංතොට, දිගන සහ අලුත්ගම ඇතුළු ස්ථාන කීපයක ප්‍රහාර එල්ල කෙරුණා. එය මුස්ලිම් ජනයා තුළ බියක් පමණක් නොවෙයි- බලවත් වේදනාවක් ඇති කළා. ඒ නිසයි,මම කියන්නේ එක ජාතිවාදයක් විසින් තවත් ජාතිවාදයක් පෝෂණය කරනවාය කියල''
එවැනි ප්‍රවණතාවක් තිබුණත් ඒවා පාලනයට ආණ්ඩුව පැත්තෙන් කිසිදු පියවරක් නොගත් බවත් මවුලවි මුලාෆර් පවසයි.
2019 ප්‍රහාරය බලපෑ හැටි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සාම්ප්‍රදායික මුස්ලිම් ජන ජීවිතය කඩා වැටුණු බව හිල්මි අහමඩ් මෙන්ම මවුලවි මුලාෆර් ද දීර්ඝ වශයෙන් විස්තර කළේය.
'ව්‍යාපාරික අංශය පමණක් නොවෙයි, මුස්ලිම් දරුවන්ගේ ආගමික අධ්‍යාපනයත් කඩා වැටුණා. දවසට 'පස්වේල' ආගමික කටයුතුවලට සහභාගී වෙන ජන කොටසක් විධියට අපි අපේ දරුවන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ ආගමික අධ්‍යාපනය ලබාදෙන්නේ මද්‍රාසා පාසල් මගින්. මේවනවිට එම ආගමික පාසල් ඉගැන්වීම අඩාලයි''
''මම මට බලපෑ පෞද්ගලික කාරණයක් කියන්නම්.මට උවමනා කළේ මගේ පුතා සිංහල පාසලකට ඇතුල්කරමින් ඔහුට අධ්‍යාපනය ලබාදීම. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවූ වාතාවරණය නිසා මගේ එම සිහිනය බිඳ වැටුණා'' මවුලවි මුනීර් මුලාෆර් බීබීසියට පැවසීය.

මුස්ලිම් සංවිධාන තහනම
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ අත්සනින් යුතුව පසුගියදා නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මුස්ලිම් සංවිධාන එකොළහක් තහනම් කිරීමට පියවර ගත්තේය.
එලෙස තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුව මෙලෙස දැක්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, SLGOVERNMENT
''මේ වගේ සංවිධාන බිහිවුණේ කුමන පරිසරයක් යටතේද කියන කාරණය වටහාගත යුතුව තියෙනව. ඇතැම් සංවිධාන මුස්ලිම් විරෝධී මතවාදයක් ගෙනයාම තමයි,විවිධ සංවිධාන බිහිවීමට හේතුව වුණේ. හැබැයි, එම ජාතිභේදවාදී හැඟීම් බෝවීමට හේතුවූ සංවිධාන සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් කිසිදු තහංචියකින් හෝ බාධාවකින් තොරව නිදැල්ලේ කටයුතු කරනවා'' මවුලවි මුලාෆර් පවසයි.
එහෙත් මෙවැනි අසාධාරණ තත්ත්වයන් දකින නමුත් මුස්ලිම් සමාජයේ බොහෝදෙනෙක් ආණ්ඩුවේ බලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් ඒවා ප්‍රශ්න නොකරන බවත් මවුලවිවරයා පවසයි.
මේ අතර පසුගිය ඉරිදා(අප්‍රියෙල් 18) ප්‍රකාශයක් කළ මැල්කම් කාදිනල් රංජිත් අගරදතුමන් ''පාස්කු ඉරිදා ප්‍රහාරය ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාවක් නොවන අතර එය දේශපාලන ඉලක්කයක්" බවත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සිය දේශපාලන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආගම උපකාරී කරගත් බවත් කියා සිටියහ.
'පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයන් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් වීම නිසා එම ප්‍රහාරය මුස්ලිම්වරුන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් විධියට අර්ථ ගන්වන්න පුළුවන්කම ලැබුණා. නමුත් මුස්ලිම් ජනතාවට කිසිම කිතුනු කණ්ඩායමක් සමග ආරාවුලක් තිබුනේ නැහැ. ඇත්තෙන්ම තවත් එහාට ගිහින් බැලුවොත් ඇතැම් බෞද්ධ අන්තවාදී සංවිධාන එක්ක මත ගැටුමක් තිබුණත් කිතුනු ජනතාවත් එක්ක එවැනි මත ගැටුමක් තිබුණේ නැහැ. දැන් කාදිනල්තුමාත් කියනවා මෙය ආගමික අන්තවාදී ක්‍රියාවක් නොව දේශපාලන ඉලක්කයක් තිබුණ ප්‍රහාරයක් කියල. මේක තමයි ඇත්ත තත්ත්වය'' ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ උප සභාපති හිල්මි අහමඩ් සඳහන් කළේය.
''මුස්ලිම් ජනයා පැත්තෙනුත් අඩුපාඩු තියෙනවා. පූජකවරයෙක් විධියට මම එම අඩුපාඩු පිළිගන්නවා. අපි ආගමික නායකයන් හැටියට අපේ අඩුපාඩු හදා ගැනීමට නිහතමානී වෙන්න ඕන. පූජකයන් කියන්නේ සාමයක් නැති තැන සාමයක් ගොඩනැගීමට කැපවෙන කණ්ඩායමක්'' මවුලවි මුනීර් මුලාෆර් පෙන්වා දෙයි.

''දැන් බලන්න අපේ සමාජයේ කුඩු ජාවාරමට ජාතියක් ආගමක් නැහැ. කුඩු ජාවාරම් කරන අය සමහර වෙලාවට සිංහල, මුස්ලිම් කිසිම භේදයක් නැතිව එකට එකතුවෙලා ඒ අපරාධය කරගෙන යනවා. නමුත් කුඩුත් එක්ක මුස්ලිම් ජාතිකයෙක් අහුවුනොත් ඇතැම් මාධ්‍ය එය වාර්තාකරන්නේ ඔහුගේ ජාතියත් පටලවල. කුඩුත් එක්ක මුස්ලිම් ජාතිකයෙක් අහුවුණා කියල. නමුත් සිංහල කෙනෙක් කුඩුත් එක්ක අහුවුණොත් සිංහල ජාතිකයෙක් අහුවුණා කියල වාර්තා කරන්නේ නැහැ. එම වෙනස තුළම එක ජාතියක් පීඩාවට පත් කරනවා'' හිල්මි අහමඩ් සඳහන් කළේය.
''ඒ අදහසත් සමඟ මමත් එකඟ වෙනවා. දැන් බලන්න, සමහර රූපවාහිනී නාලිකා පවා ඒ වැඩේ කරනවා. එතකොට අපි සියලු දෙනාම අපරාධකාරයෝ කියන හැඟීමක් සමාජයට දෙනවා. සමාජ මාධ්‍ය ජලයේ පළකෙරෙන ප්‍රකාශනවල තත්ත්වයත් ඒකමයි. මම දැක්කා සමහරු නබිනායක තුමාට පවා අපහාස කෙරෙන ප්‍රකාශන පළකරලා තිබුණා'' මවුලවි මුලාෆර් පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් තුළ රටහැර යාමේ මානසික තත්ත්වයක් ද වැඩෙමින් පවතින බවත් මවුලවිවරයා පවසයි.
''මුස්‌ලිම් ජනයා දෙස වපර ඇසින් බැලීම නතරවෙන්න ඕන. එපමණක් නොවෙයි, ආණ්ඩුවේ රැකියාවල නිරතවෙලා ඉන්න මුස්ලිම් නිලධාරීන් පවා කටයුතු කරන්නේ එක්තරා බියකින්''

කියවන්න;











