මානව හිමිකම්: රටක ස්වෛරීභාවයේ නාමයෙන් මානව හිමිකම් අමතක කළ හැකිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, උපාලි ගජනායක
- Role, BBC සිංහල
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ විසින් මානව හිමිකම් කමිටුවේ 46 වෙනි සැසිවාරය සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ ''එම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප'' කරමිනි.
පසුගිය පෙබරවාරි 22 දින ආරම්භ වූ සමුළුව මාර්තු 23 දින අවසන්වීමට නියමිතය.
පෙබරවාරි මාසයේ දුරස්ථව සමුළුව ඇමතූ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහකොමසාරිස්වරියගේ වාර්තාව බැහැර කළ අතර එක්සත් රාජධානිය,ජර්මනිය,කැනඩාව,උතුරු මැසිඩෝනියා,මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් සමූහය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ද සඳහන් කරමින් මෙසේ කියා සිටියේය.
''මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික දේශීය කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත''
විදේශ ඇමතිවරයා විසින් මානව හිමිකම් සැසිවාරයට දෙන ලද පණිවුඩයෙහි ඉහත සඳහන් කරන ලද පාඨය තුළ රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් සිය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන තර්කය අන්තර්ගත වෙයි. එනම්, ''ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් වන අතර එම දේශීය කරුණු සම්බන්ධයෙන් බාහිර බලවේගයන් මැදිහත්වීම නුසුදුසු'' වන බවය.
මහකොමසාරිස්වරියගේ වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාවට නංවනු ලැබීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරමාධිපත්‍යයට හානි කිරීමක්ය යන්න ශ්‍රී ලංකා ආණ්ඩුවේ පමණක් නොව තවත් සංවිධානවල මෙන්ම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන ඇතැම් රටවලද අදහස වී ඇත. අදාළ යෝජනාව මගින් රාජ්‍ය ස්වෛරීභාවයට හානියක් සිදුකෙරෙන්නේද? එසේ නැත්නම්,මහජන ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගතයුතුව තිබේද? යන මතවාදයන් සාකච්ඡාවට ගැනීමක් මෙම ලිපිය මගින් සිදු කෙරෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලබන ආකාරයේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ආණ්ඩුව අපේක්ෂා නොකරන බව කොළඹ පාලනය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා දුරස්ථ සන්නිවේදනය ඔස්සේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ කරන ලද ඉහත කී ප්‍රකාශය මගින් පෙන්නුම් කෙරුණි.
එවැනි ක්‍රියාමාර්ගයක් ''ස්වාධීන රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්'' බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ද අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/DINESH GOONAWARDHANA
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති පිටු 17 කින් සමන්විත වාර්තාව මගින්, "මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විශ්වාස කටයුතු චෝදනා ලැබූවන්" ඉලක්ක කරගත්, යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක'' නිර්දේශ කරයි.
එපමණක් නොව, රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය සියලු දෙනා බලහත්කාරයෙන් ආදාහනය කිරීම (එම නියමය වෙනස්කරනු ලැබ ඇත) ආදී ක්‍රියාමාර්ග මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මගින් හඳුනාගනු ලැබ ඇත.
ආණ්ඩුවේ විසඳුම්
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එවැනි ප්‍රතිචාරයක් දක්වනු ලබන්නේ මෙම 46 සැසිවාරය ආරම්භ කරනු ලැබීම අත්‍යාසන්නයේ අදාළ චෝදනා විභාග කරනු ලැබීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසකරුවකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබ තිබියදීය.
එම කොමිසම පිහිටුවනු ලබන්නේ 2015 ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පෙරට තබන ලද 30/1 යෝජනාවලිය වත්මන් ආණ්ඩුව විසින් ඉවත්කරගනු ලැබ ඇති පරිසරයකය. 30/1 යෝජනාවලිය මගින් එවක ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතිකරගන්නා ලද එකඟතාව ඉවත්කර ගන්නා ලද්දේ එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුවෙතැයි පවසමිනි.
ආණ්ඩුව බලයට පත්වීමට පෙර ම එකී 30/1 එකඟතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම, අදාළ යෝජනාවේ අන්තර්ගත කරුණුවලින් ශ්‍රී ලංකාවේ "අභ්‍යන්තර කටයුතුවලට විදේශීය මැදිහත්වීමක් පිළිබිඹු කෙරෙන බැවින්" ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක් කර තිබුණි.
ආණ්ඩුව 30/1 එකඟතාවෙන් ඉවත්වුනත් මහකොමසාරිස් වාර්තාව මගින් එම එකඟතා වෙනත් වචනවලින් පුනරාවර්තනය වී ඇත. දැන් වෙනස වන්නේ කලින් එළැඹි 'එකඟතා' දැන් 'නිර්දේශ' බවට පත්ව තිබීමය.
මේ අතර කොළඹ බලධාරීන්ගේ ප්‍රයත්නය වී තිබෙන්නේ '' ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණය ''අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක් ''මෙන්ම එමගින් '' දක්ෂිණාර්ධ ගෝලයේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බව'' ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමය.
ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා මෙසේ පවසයි.
''විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් (මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව මගින්) පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි''
මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ''ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික දේශීය කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර'' ඇතැයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කරන අතරවාරයේ දමිළ දේශපාලන පක්ෂ සහ සංවිධානවලට අතිරේකව වෙනත් විවිධ ශ්‍රේණීන් විසින් ද රජයේ එම ස්ථාවරය ප්‍රශ්න කරනු ලැබෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Martial Trezzini
පසුගියදා 'Colombo Telegraph' වෙබ් අඩවියට ''ජගත් මානව හිමිකම් කොමිසම ආරක්ෂාකළ යුත්තේ පීඩිතයින්ගේ මිස පීඩකයින්ගේ ස්වාධිපත්‍යය නොවේ'' යන මැයෙන් ලිපියක් සැපයූ ආචාර්ය රන්ජිත් සී.පෙරේරා මෙසේ ප්‍රශ්න කර තිබුණි.
''මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවට නතුවන බොහෝ රටවල් එම චෝදනාවෙන් ගැලවීමට යොදන උපක්‍රමය ස්වාධිපත්‍යය මූලධර්මය පෙරට දැමීමයි .රජයේ ස්ථාවරය පිළිගන්නා සමහර විචාරකයින් පවසන්නේ ජගත් මානව හිමිකම් කොමිසම ස්වාධිපත්‍ය යන මූලධර්ම යටතේ රටේ අභ්‍යන්තර කරුණුවලට අතපොවන බවයි. අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ස්වාධිපත්‍ය අහෝසිව තිබෙන්නේ පාලකයන්ගේ ද නැත්නම් පාලිතයන්ගේ ද යන්නයි''

ඡායාරූප මූලාශ්‍රය, JAYARAJ PALIHAWADANA
එම අදහසත් සමඟ සියලු කණ්ඩායම් එකඟ නැත.'London Initiative' සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ජයරාජ් පලිහවඩන බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ''මානව හිමිකම් මණ්ඩලය ඔවුන්ට පැවරෙන බලසීමාවන් ඉක්මවා ගොස් ඇති අතර ඔවුන්ට රටක පරමාධිපත්‍යය කෙරෙහි අභියෝග කළ නොහැකි'' යයි කියා සිටියේය.
''මානව හිමිකම් කමිටුව බලන්නේ 'වගවීම' ගැන විතරයි. ඒ අනුව මේක දඩයමක් බව පේනවා. මානව හිමිකම් කොමිසමට රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම එල්ල වෙනවා. ඒ නිසා තමයි ඔවුන් තමන්ගේ සීමාව ඉක්මවා යන නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඔවුන්ට රටක පරමාධිපත්‍යයට අභියෝග කරන්න බැහැ."
මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් කරුණු උපුටා දක්වන නීතිඥ ජයරාජ් පලිහවඩන වැඩිදුරටත් තම ස්ථාවරය පැහැදිලි කරමින් '' ඔවුන් ලංකාවේ බලය බෙදන්න කියනව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරන්න කියනව. නීතිරීති වෙනස් කරන්න කියනවා. එම කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට බලයක් පැවරී නැහැ'' යනුවෙන් ද සඳහන් කළේය.
මානව හිමිකම් කමිටුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල විසින් පළකරන ලද්දේ වෙනත් අදහසකි.
''මානව හිමිකම් කමිටු නිර්දේශ මගින් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදුකර ඇතැයි පැවසිය නොහැකියි. ඇත්තෙන්ම එමගින් කියවෙන්නේ සිවිල් ජනතාවට පොදුවේ සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් විභාගයක් කරන ලෙසයි. දැන් රාජ්‍යයේ පරමාධිපත්‍යය ගැන උනන්දුවක් දක්වන කණ්ඩායම් පාලකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන පරමාධිපත්‍යයට සිදුවෙන හානිය ගැන කතා නොකිරීම ප්‍රශ්නයක්''

ඡායාරූප මූලාශ්‍රය, Prof Piyadasa Athukorala
තම තර්කය තහවුරු කිරීම සඳහා මහාචාර්ය පී.අතුකෝරල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය මගින් 19 වෙනි සංශෝධනය අහෝසිකරනු ලැබීම නිදසුනක් කර ගනියි. ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සභාව අහෝසි කරනු ලැබීම මහජන අයිතිවාසිකමක් උදුරාගනු ලැබීමක් ලෙස ඔහු දකියි.
''පාලකයන්ගේ පැත්තෙන් සිදුවෙන අසාධාරණයන්ට එරෙහිව යාමට දැන් ඇති එකම ස්ථානය අධිකරණයයි. නමුත් රජය විසින් පත්කරනු ලබන ජනාධිපති කොමිෂන් සභා විසින් අධිකරණය විසින් වැරදිකරුවන් හැටියට තීන්දුකරන ලද පුද්ගලයන් නිදොස්කොට මුදාහරින ලෙස නියෝගකරනු ලැබීම අශුභ නිමිත්තක්. එවිට අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනවා''
එවැනි පරිසරයක් යටතේ පෙරට එන අභ්‍යන්තර බලවේග මර්දනය කෙරෙන හෙයින් අඩුතරමින් බාහිර බලවේගයකවත් මැදිහත්වීම මහජනතාව විසින් අපේක්ෂාකරන වාතාවරණයක් උද්ගත වියහැකි බවත් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවේ දී මහාචාර්ය පී. අතුකෝරල සඳහන් කළේය.
එහෙත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් අභියෝග කරන රටවල් ගත්විට එම රටවලට වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට සෘජු ලෙසම මැදිහත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව නීතිඥ ජයරාජ් පලිහවඩන පවසයි. උදාහරණයක් ලෙස ඉරාකයේ සහ සිරියාවේ අභ්‍යන්තර දේශපාලනයට සෘජුව මැදිහත්වෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරනු ලබන ඇතැම් බලවත් රටවල් බවත් නීතිඥ පලිහවඩන සඳහන් කරයි.
බීබීසී සිංහල අංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී එම අදහස තවදුරටත් පෙරට ගෙනයමින් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ '' මානව හිමිකම් මහකොමසාරිස්වරිය මහපොළොවේ තත්ත්වය හරිහැටි නොදැන චෝදනා රාශියක් එල්ල කරන්නට පටන්ගෙන ඇති'' බවය.
ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කරයි.
"ඒ වගේම මම හිතන්නේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් මෑතකදී පනතක් ගෙනවිත් තියෙනවා; තමන්ගේ සොල්දාදුවන් විදේශ රටවල ගිහින් යුද කටයුතුවල යෙදිලා වැරදිකරුවන් බවට පත්වුණොත් ඒ සියලුදෙනා නිදහස් කෙරෙන පනතක්. ඉතින් මේ අය කතා කරන්නේ කුමක් පදනම් කරගෙනද?"
"තවත් රටවල් කීපයක් ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා'' යයිද ඇමතිවරයා පැවසීය.
විදේශ ඇමතිවරයා පවසන පරිදි ශ්‍රී ලංකාව සිය අභ්‍යන්තර කටයුතු කරනු ලබන්නේ රටේ ව්‍යවස්ථාපිත මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදිය.
"අපේ රට ස්වෛරී රාජ්‍යයක්. අපි කටයුතු කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව විදේශීය නඩුකාරවරු ගෙනැවිත් මෙවැනි දෙයක් කරන්න කිසි ලෙසකින් ඉඩක් නැහැ."
බොහෝ තුන්වෙනි ලෝකයේ රටවල පාලකයන් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචනවලින් දැක්වෙන ස්වෛරීභාවය නම් සංකල්පය පාවිච්චි කරමින් එම සමාජයන්හි පරමාධිපති බලය හිමි මහජනතාව පීඩාවට පත්කරන්නේනම් එවිට එම වින්දිතයන් සඳහා ඇති රැකවරණය කුමක්දැයි සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල ප්‍රශ්න කරයි.
''රාජ්‍යයේ පරමාධිපත්‍යය සංවිධානාත්මක දේශපාලන සමාජවල මුල්බැසගත් සිද්ධාන්තයක්. එහි පරමාර්ථය ප්‍රජා පීඩනය නොවෙයි. ඉන් එහාගිය දෙයක්. නමුත් අද බොහෝ රාජ්‍යයන්හි සිද්ධවෙන්නේ මහජන ඡන්දයෙන් හෝ බලහත්කාරයෙන් රාජ්‍ය බලය හිමිකරගත් කණ්ඩායම් විසින් තම කටයුතු ආවරණය කර ගැනීමට එම සිද්ධාන්තය පාවිච්චිකරනු ලැබීම. මේ නිසා තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනවල මැදිහත්වීම් සිදු කෙරෙන්නේ. මේක ආගන්තුක දෙයක් නොවෙයි. බොස්නියා - හර්සගොවිනා අර්බුදයට එක්සත් ජාතීන් විසින් කරන ලද මැදිහත්වීම් මේ සඳහා අපේ කාලයේ හොඳ නිදර්ශනයක්''
එක්සත් ජාතීන්ගේ ආයතනයක් මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ පාරදෘශ්‍යභාවයෙන් (transparency) යුක්තවිය යුතු බවත් මහකොමසාරිස් බැචලේගේ වාර්තාවේ පදනම ඒකපාර්ශ්වීය බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ඉලිනොයි' ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සමාජ විද්‍යාඥයකු වන මහින්ද රණවක පවසයි.
''අපි පිළිගන්නවා මානව හිමිකම් වැදගත් අංගයක්. නමුත් කවුද මානව හිමිකම් උල්ලංඝනය කළේ? ළමුන් බලහත්කාරයෙන් යුද්ධයට ගෙනගොස් මරණයට පත්වීම යුද අපරාධයක් නොවෙයිද? ඒවා කළේ කොටි සංවිධානය. කොහොම වුණත් රටේ ස්වාධිපත්‍යය ඉතාම වැදගත් වෙනවා. අසාධාරණ ලෙස ඊට ඇඟිලිගැසීම වැරදියි'' මහින්ද රණවක බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

මානව අයිතිවාසිකම් සහ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල ඉදිරිපත්කරන අදහස ස්ථාපනය කරමින් ආචාර්ය රන්ජිත් සී.පෙරේරා පළකරන්නේ මෙවැනි අදහසකි.
''ජගත් මානව හිමිකම් කවුන්සලය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සංවිධානද ස්වාධිපත්‍යය යන්නට නව අර්ථකතනයක් සැපයීමට කාලය උදා වි තිබේ. කිසිම රටක පාලකයකුට එරටේ ජනතාවගේ මානව හිමිකම් කඩකර චෝදන එල්ලවන විට ස්වාධිපත්‍යය නම් කඩතුරාව යොදාගෙන ගැලවීමට අවස්ථව නොදිය යුතුය. තවද, එසේ එවැනි චෝදනා එල්ල කරන විට ඒවා එල්ල කළ යුත්තෙත් සම්බාධක පැනවිය යුත්තෙත් ඒවාට වගකිව යුතු පාලකයින්ට මිස පාලිතයින්ට නොවීමට ඔවුන්ගේ අවධානය යොමුවීම වැදගත් වේ. ලොවේ සමස්තයක් ලෙස මානව හිමිකම් කඩකිරීම් අවම කිරීමට එවැනි තීරණ අතිශයින්ම වැදගත්වනු නොඅනුමානය''
කෙසේවුවද, නූතන ජාතික රාජ්‍යයේ ප්‍රභවයෙන් අනතුරුව ''රාජ්‍යයේ පරමාධිපත්‍යය'' අන්තර් රාජ්‍ය පද්ධතියෙහි ගරුත්වය ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා පිළිගනු ලබන මූලික සිද්ධාන්තයක්ව ඇත. එක් එක් රාජ්‍යයන් පමණක් නොව සියලු ජාත්‍යන්තර සංවිධානයන් ද ඒ සඳහා බැඳී සිටිති. එහෙත් මහජන මූලික අයිතිවාසිකම් ක්‍ෂේත්‍රයේ දී ජාතික රාජ්‍යයේ බලසීමාවන්ට පරිබාහිරව ජාත්‍යන්තර ගිවිසුම් මගින් ඇතිකරගනු ලබන බැඳීම් සහ වගකීම් අනුව එම සිද්ධාන්තය මූලධර්මය මට්ටමින් භුක්තිවිඳිනු ලැබීම ප්‍රයෝගික වශයෙන් අභියෝගයක්ව පවතී.
තවත් තොරතුරු;










