මහ කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිචාරය: "කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා"

ඇයට යෝජනා කරන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Dinesh Gunawardena

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇයට යෝජනා කරන්න පුළුවන්..." -විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, BBC

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය "මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා" එල්ල කරන බවත්, "විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට" කිසි ලෙසකින් ඉඩ නොතබන බවත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

මහකොමසාරිස්වරිය ගේ අලුත් ම වාර්තාවට ශ්‍රී ලංකා ආණ්ඩුව දැක්වූ ප්‍රථම ප්‍රතිචාරය මෙය වේ. අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේ බීබීසී සිංහල සේවය සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී ය.

"ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා." විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ හමුදාව ජයග්‍රහණය කර ඇත්තේ නීතිවිරෝධී, ත්‍රස්ත සංවිධානයකට එරෙහිව කරන ලද යුද්ධයකින් බව ඔහු අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ

ඡායාරූප මූලාශ්‍රය, FABRICE COFFRINI

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ

"ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ඝාතනය කළා. ඉන්දියාවේ අගමැතිවරයෙක් ඝාතනය කළා. යුද්ධයට සම්බන්ධ නැති කොළඹ පළාතේ පවා මහා පුපුරවා හැරීම් කළා. ඒ කිසිවක් නොසළකා හැර තිබෙනවා. සම අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟ වූ යෝජනාවලිය මහපොළොවේ සත්‍යය යටපත් කරමින් ගෙන ආ එකක් නිසා තමයි එය නීතිවිරෝධී යෝජනාවක් කියල මම කියන්නේ. එය නිවැරදි කළ යුතුයි."

මෙවැනි දරුණු සිදුවීම් "ඇතැම් බටහිර රටවල් විසින් අමතක කර දැමීමට උත්සාහ කරන" බවට ඔහු චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ගෙන ආ 30/1 යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීමට යහපාලන රජය ක්‍රියා කළ ආකාරය නීතිවිරෝධී බව වත්මන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, හදිසියේ බ්‍රිතාන්‍යයෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුම කුමක්ද? කොමසාරිස්වරියගේ 'අලුත් රතු එලිය' ගැන විදේශ අමාත්‍යවරයා පළමුවරට කතා කරයි!

"එය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ලංකාවේ පාර්ලිමේන්තුවට දැනුම්දීල නැහැ. ලංකාවේ එවකට සිටි රාජ්‍ය නායකත්වය ඊට එකඟතාවයක් තිබුණේ නැහැ." අමාත්‍යවරයා තර්ක කළේය.

"අපේ රට ස්වෛරී රාජ්‍යයක්. අපි කටයුතු කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව විදේශීය නඩුකාරවරු ගෙනැවිත් මෙවැනි දෙයක් කරන්න කිසි ලෙසකින් ඉඩක් නැහැ."

එබැවින් මේ වෙනුවෙන් කළ හැක්කේ දේශීය යාන්ත්‍රණය ඔස්සේ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම පමණක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බීබීසීයට පැවසීය.

ඊට අතිරේකව, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලෙන ආයතන පිහිටුවා ඇති බවත්, එක්සත් ජාතීන් සමඟ සම්මුතීන් වලට එකඟව පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යාමටත් තම ආණ්ඩුව එකඟ වී ඇතැයි ද ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර වශයෙන්, මානව හිමිකම් මණ්ඩලයේ කොමසාරිස්වරිය නිකුත් කර ඇති අලුත් ම වාර්තාව පිළිබඳව විමසූ විට විදේශ අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"කොමසාරිස්වරියට මම හිතන්නේ නැහැ, කවුන්සිලයේ යෝජනාවක් විවාද කිරීමේ කටයුතු මිස කෙලින් ම තහනමක් කිසිම රටකට පනවන්න පුළුවන් කියල. ඇයට යෝජනා කරන්න පුළුවන්."

කෙසේ නමුත් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් වන්නේ, ඉහළම රාජ්‍ය නිලධාරීන් අතීත අපරාධ පිළිබඳ කිසිදු පිළිගැනීමක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ රජය විසින් සත්‍යය සෙවීමේ උත්සාහයන් අත්හිටුවා ඇති බව ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරමින් සාමාජික රටවලට යෝජනා කරන්නේ, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි හෝ වගකිව යුතු යැයි විශ්වාස කළ හැකි රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් කිරීම වැනි ඉලක්කගත සම්බාධක සහ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන ආධාරක මුල පිරීම් ද යෙදිය හැකි බවයි.

පසුගිය වසර තුළ මතුවී ඇති ප්‍රවණතා පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි අවධානයෙන් සිටින අතර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර තුළ මතුවී ඇති ප්‍රවණතා පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි අවධානයෙන් සිටින අතර...

ස්වාධීන කොමිසමේ ස්වාධීනත්වය?

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිදුවී ඇතැයි පැවසෙන යුද අපරාධ හෝ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ ඇති නව ස්වාධීන කොමිසමේ පවතින ස්වාධීනත්වය පිළිබඳව ද මහකොමසාරිස්වරිය ප්‍රශ්න කර තිබේ.

මේ පිළිබඳව බීබීසීය විමසු අවස්ථාවේදී විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, එම කොමිසමේ සභාපතිත්වයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත්කර ඇති අතර "තොරතුරු ලබා ගැනීමේ සහ විනිශ්චය කිරීමේ අත්දැකීමක් ඇති" විශ්‍රාමික රාජ්‍ය සේවකයන් දෙදෙනෙකු ද එහි සාමාජිකත්වයට පත් කර ඇති බවය.

"අපේ විශිෂ්ඨ නඩුකාරවරුන්ට ස්වාධීනව කටයුතු කරන්න බැහැ කියල කියනවනම් ඒක කිසිම සාධාරණ කතාවක් නොවෙයි. එතුමිය සඳහන් කළ ඒ කරුණ අපි ඉතාමත් ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා."

රහසිගත දුරකථන සංවාදයක්?

මේ අතරතුර මීට දින කීපයකට පෙර මහා බ්‍රිතාන්‍යයෙන් විදේශ අමාත්‍යවරයා වෙත ලැබුණු දුරකථන ඇමතුමක් පිළිබඳව බීබීසීය මෙහිදී ප්‍රශ්න කළේය. මෙම දුරකථන ඇමතුම ලැබී ඇත්තේ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය අහමඩ් සාමිවරයාගෙනි.

එය රහසිගත දුරකථන සංවාදයක් නොවූ බව අමාත්‍යවරයා පැවසීය. එහිදී කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන කරුණු පිළිබඳවත් සාකච්ඡා කෙරුණු බව ඔහු පිළිගත්තේය.

"ලෝඩ් අහමඩ් කීපවතාවක් මට කතා කරලා තියෙනවා. කොවිඩ් තත්ත්වය ගැනත් කතා කළා. කොවිඩ් රෝගයෙන් මියගිය මුස්ලිම් පුද්ගලයන් ආදාහනය කිරීම පිළිබඳවත් අපි අපේ ස්ථාවරය පැහැදිලි කළා. ජිනීවා සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන කරුණු සහ විකල්ප යෝජනා ගැනත් ඔවුන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා. ඒ ගැනත් කතා කළා. එහි කිසිම රහස්‍යභාවයක් නැහැ." අමාත්‍යවරයා පැවසීය.

ලොව පුරා පවතින කොවිඩ් වසංගතය හමුවේ, මෙවර ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරය අන්තර්ජාලයේ ආධාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙළිදරව් කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ 30/1 යෝජනාව මගින් පොරොන්දු වූ "නැවත ඇති නොවන බවට සහතික වීම" සාක්ෂාත් කර ගැනීම වෙනුවට, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් පුනරාවර්තනය වීමට ශ්‍රී ලංකාවේ වර්තමාන ගමන් මඟ සකස් කර ඇති බව මහකොමසාරිස්වරියගේ නව වාර්තාවේ සඳහා වේ.

එහි පවසන්නේ පිරිහෙන මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා සහ අනාගත උල්ලංඝනයන් සැලකිය යුතු ලෙස ඉහළ යන අවදානමත් පසුගිය වසර තුළ මතුවී ඇති ප්‍රවණතා පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි අවධානයෙන් සිටින අතර ඒවා වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ඉල්ලා සිටින බවයි.

මහපොළොවේ තත්ත්වය

මේ පිළිබඳව විමසු විට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මහකොමසාරිස්වරියගේ වාර්තාව පදනම් විරහිත එකක් බවය.

"ඇය මහපොළොවේ තත්වය හරිහැටි නොදැන චෝදනා රාශියක් එල්ල කරන්නට පටන්ගෙන තියෙනවා. අපි ඒවට පිළිතුරු සපයල තියෙනවා."

"ඒ වගේම මම හිතන්නේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් මෑතකදී පනතක් ගෙනවිත් තියෙනවා; තමන්ගේ සොල්දාදුවන් විදේශ රටවල ගිහින් යුද කටයුතුවල යෙදිලා වැරදිකරුවන් බවට පත්වුණොත් ඒ සියලුදෙනා නිදහස් කෙරෙන පනතකුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙනැවිත් තියෙනවා. ඉතින් මේ අය කතා කරන්නේ කුමක් පදනම් කරගෙනද කියන එක, අපහ්බ්‍රන්ස කියල අපේ භාෂාවෙන් කියන්න පුළුවන්."

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බවය.

"ජනාධිපති තුමා පැහැදිලිව කියා තිබෙනවා අපි මධ්‍යස්ථව, නොබැඳි පිළිවෙතක ඉන්නවා කියල. දේශපාලන දර්ශනය සහ යාන්ත්‍රණයන් රටකින් රටකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙනා සමඟ අපි මිත්‍රත්වයෙන් කටයුතු කරනවා." දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.