ආනන්දි සසිදරන් ජිනීවා ගොස් පැමිණේ

ශ්‍රී ලංකාවේ උතුරේ කාන්තාවන් සහ දරුවන් අත් විඳින පීඩාව විදේශීය දුත මණ්ඩල සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හමුවේ විස්තර කළ බව පළාත් සභා මන්ත්‍රිනී ආනන්දී සසිදරන් ප්‍රකාශ කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ මාර්තු සැසි වාරය ට කලින් උතුරු පළාත් සභාව නියෝජනය කරමින් ජිනීවා බලා ගිය ඇය පෙරලා පැමිණියේ ඉරිදායි.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හෝ අතුරුදහන් වීම් පිළිබඳව විමසන ජනාධිපති කොමිසම හෝ කෙරේ තමන්ගේ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හට ප්‍රකාශ කළ බවයි සසිදරන් මන්ත්‍රීවරිය බීබීසීයට පැවසුවේ.

ඡායාරූප මූලාශ්‍රය, TNPF
අතුරුදහන් වීම් පිළිබඳව දහසකට වැඩි පිරිසක් නඩු පැවරූ අවස්ථාවේ ඊට එරෙහිව අධිකරණයේ කටයුතු කළ පුද්ගලයන් කොමිසමට පත් කොට ඇති බවයි ඇගේ චෝදනාව.
'වර්ග සංහාරයක්'
උතුරේ පවත්නා තත්වය පිළිබඳව තමන් විසින් ලබා දුන් තොරතුරු මින් පෙර දැන නො සිටියේ යයි විදේශීය දුත මණ්ඩල නියෝජිතයන් පැවසූ බව ආනන්දී සසිදරන් වැඩි දුරටත් පැවසුවාය.
මේ අතර දෙමළ ජාතියට එරෙහිව වර්ග සංහාරයක් දියත් වී ඇතැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි.
ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමේ දී බ්‍රිතානීන් ශ්‍රී ලංකාවේ පාලනය හැර ගිය 1948 සිට කාලය සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට බල කර සිටීමට පක්ෂ සම්මේලනය තීරණය කළ බවයි එහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වවුනියාවේ දී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ.




