කොරෝනා වෛරසය: වැඩිහිටි නිවාසවල "අපැහැදිලි මරණ" ගැන බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ප්‍රශ්න කෙරේ

Boris Johnson

ඡායාරූප මූලාශ්‍රය, UK parliament

පසුගිය මාසයේ වැඩිහිටි නිවාසවල (care homes) සිදුවූ "පැහැදිලි නොකළ" මරණ 10,000ක් පිළිබඳ නිල සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වගවිය යුතු බව එරට ලේබර් පක්ෂයේ නායක ශ්‍රීමත් කෙයර් ස්ටාර්මර් පවසයි.

ශ්‍රීමත් කෙයර් පැවසුවේ, අප්‍රේල් මාසය තුළදී තවත් මරණ 18000ක් සිදුව ඇතත්, කොරෝනාවෛරසයට අදාළව සිදුවූ මරණ 8000ක් පිළිබඳව පමණක් වාර්තා කර ඇති බවය.

රජය "වැඩිහිටි නිවාසවල වෙසෙන්නන් ආරක්ෂා කිරීම අතිශය මන්දගාමී" බවත් ඔහු පැවසීය.

වැඩිහිටි නිවාසවල කොරෝනාවෛරස් වසංගතය අවම කිරීම සඳහා "තවත් බොහෝ දේ කළ යුතු වුවත් අපි යම් ප්‍රගතියක් ලබමින් සිටිනවා," යනුවෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසීය.

එංගලන්තයේ වැඩිහිටි නිවාසවල ආසාදනය වීම්වලට එරෙහිව සටන් කිරීම සදහා තවත් ස්ටර්ලිං පවුම් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කරන බව අගමැතිවරයා නිවේදනය කළේය.

පරීක්ෂණ වැඩි කිරීම, කුඩා ප්‍රමාණයේ වැඩිහිටි නිවාසවලට විශේෂඥ උපදෙස් දීම ආදී කටයුතු සඳහා එම මුදල් පළාත් පාලන ආයතන හරහා නිකුත් කිරීමට නියමිතය.

වසංගතය ආරම්භයේදී නිකුත් කරන ලද රජයේ උපදෙස් සම්බන්ධයෙන් ද බොරිස් ජොන්සන් සහ ශ්‍රීමත් කෙයර් අතර විවාදයක් හටගත්තේය.

'පාර්ලිමේන්තුව නොමඟ යවලා'

ශ්‍රීමත් කෙයර් පැවසුවේ, වැඩිහිටි නිවාසවල වෙසෙන කිසිවෙකුට කෝවිඩ් 19 ආසාදනය වීමේ "ඉඩක් නැතැයි" රජය මාර්තු 12 වන දාට පෙර වැඩිහිටි නිවාසවලට දැනුම් දී තිබූ බවය.

"එවැනි උපදෙසක් දුන් බව සත්‍යයක් නොවේ" යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, රැකවරණ නිවාසවල කොරෝනාවෛරස් වසංගතය අවම කිරීම සදහා "තවත් බොහෝ දේ කළ යුතු වුවත් අපි යම් ප්‍රගතියක් ලබමින් සිටිනවා," යනුවෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසීය.

පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසු ශ්‍රීමත් කෙයර් අගමැතිවරයා වෙත ලිපියක් යවමින්, මන්ත්‍රීවරුන් නොමඟ යවා ඇති බවට චෝදනා කරමින් එම වාර්තාව නිවැරදි කිරීම සඳහා නැවත පාර්ලිමේන්තුව වෙත පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, ශ්‍රීමත් කෙයර් වෙත ප්‍රතිචාර දක්වමින් බොරිස් ජොන්සන් යොමු කළ ලිපියක දැක්වුණේ, තමන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් වගකියන අතර කම්කරු පක්ෂයේ නායකයා එංගලන්ත මහජන සෞඛ්‍ය සේවාවේ මාර්ගෝපදේශන "තෝරාබේරාගෙන නොමග යවනසුලු ආකාරයට" උපුටා දක්වන බවය.

කෙසේ වෙතත්, පෙබරවාරි මස 25 වන දා බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ The guidance at the centre of the row නමැති උපදෙස් මාලාව මාර්තු 13 වන දා ඉවත් කර ගැනිණි.

එහි සඳහන් වූයේ: "මෙම මාර්ගෝපදේශන මාලාව නිකුත් කරනු ලබනුයේ කෝවිඩ් 19 රෝගය මේ වන විට ප්‍රජාව අතර ව්‍යාප්ත වීමක් නොමැති බව සැලකිල්ලට ගනිමිනි," යනුවෙනි.

"ඒ අනුව, වැඩිහිටි නිවාසවල වෙසෙන්නන්ට මෙය ආසාදනය වීමට ඉඩක් නැති" බව ද එහි සදහන් විය.

මාර්ගෝපදේශකයේ දැක්වුණේ, "දැනට සත්කාරක සේවා ආශ්‍රිතව කිසිදු වෙනසක් කිරීමට අවශ්‍ය නොවන" බවය.

කොරෝනාවෛරසය
කොරෝනාවෛරසය

'එකතු වී වැඩ කිරීම'

සිය ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රීමත් කෙයර්ට චෝදනා කර ඇත්තේ, මාර්ගෝපදේශකයේ සන්දර්භය සැලකිල්ලට නොගෙන ඇති බවටය.

ලේබර් පක්ෂ නායකයා අග්‍රාමාත්‍ය ජොන්සන් වෙත යැවූ ලිපියෙහි සඳහන් වන්නේ, "ජාතික අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී වෙන කවරදාටත් වඩා රජයේ ඇමතිවරුන් ලබා දෙන තොරතුරුවල නිරවද්‍යතාව වැදගත් වන," බවය.

"තොරතුරු නිවැරදි කිරීමට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව," ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

කෙයර් ස්ටාමර් වෙත යැවූ ලිපියෙහි බොරිස් ජොන්සන් පවසා තිබුණේ, විපක්ෂ දේශපාලන පක්ෂවල දායකත්වය සහ උපදේශකත්වය බලාපොරොත්තු වන බවය. "මහ ජනතාවගේ අපේක්ෂාව වී ඇත්තේ, අප එකතු වී වැඩ කිරීමයි."

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම්වලදී බොරිස් ජොන්සන් පැවසුවේ, සාමාන්‍ය ලොක්ඩවුන් කිරීම්වලට පෙර වැඩිහිටි නිවාස ලොක්ඩවුන් කළ බවය. එහෙත්, ඒ තුළ භායනක වසංගතයක් පැවති බව ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, වැඩිහිටි නිවාසවල මරණ සංඛ්‍යාව "ඉතා ඉහළ ගොස් තිබුණ ද" වසංගත ව්‍යාප්තිය අඩු වී ඇති අතර මරණ සංඛ්‍යාව බෙහෙවින් අඩු වී ඇති බවය.

මෙහිදී ශ්‍රීමත් කෙයර් අවධානය යොමු කළේ, එංගලන්තයේ සහ වේල්සයේ සිදුවූ කෝවිඩ් 19 මරණවලිවන් 40%ක් වැඩිහිටි නිවාස තුළ සිදුව ඇති බවට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා දත්ත කෙරෙහිය.

බොරිස් ජොන්සන් පැවසුවේ, "මාර්තු සහ අප්‍රේල් මාසවල රෝහල්වල සිට වැඩිහිටි නිවාස වෙත සුවය ලබා පිටව ගිය පිරිස් අඩු වී ඇති අතර රැකවරණ නිවාසවලට ගොස් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති අතර පරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ දමා ඇති" බවය.

කියවන්න: