ඔස්ට්‍රේලියානු වන ගිනි මැද ඔටු සංහාරයක්

ඔටුවා,ඔස්ට්‍රේලියාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නියඟය නිසා දියපොදක් නැති වනගත ඔටුවන් ගම්බිම්වලට පිවිසෙන තත්වයක් උද්ගතව ඇත

දකුණු ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් ඔටුවන් මරා දැමීමට බලධාරීන් විසින් ගනු ලැබ තීරණය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී.

බලධාරීන් පවසන ආකාරයට එවැනි තීන්දුවක් ගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටින දරාගත නොහැකි උෂ්ණත්වය සහ නියඟයේ ප්‍රතිවිපාකයක් වශයෙනි.

වනගත ඔටුවන් මරා දමනු ලබන්නේ තුවක්කුකරුවන් හෙලිකොප්ටර් යානාවල සිට වෙඩි තැබීමෙනි.

එම සත්ත්ව ඝාතනය බදාදා (ජනවාරි 08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

ඔටු විශාල රංචු වශයෙන් පැමිණ තම ගම්බිම් සහ ගේදොර ඇතුළු ගොඩනැගිලි විනාශ කරන තත්ත්වයක් පවතින බවට දකුණු ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ප්‍රජාව පැමිණිලි කරන බවත්, ඒ අනුව එවැනි ඔටු ඝාතනයක් සඳහා බලධාරීන් පියවර ගත් බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් වාර්තා කෙරිණ.

"වනයේ ජීවත්වෙන ඔටුවන් බීමට වතුර සොයා වීදිවලට පැමිණෙන" බව ආදිවාසී ප්‍රජාව අතර ජීවත්වෙන මරිටා බේකර් ප්‍රකාශ කළාය.

ඔටුවන්ට අමතරව වනගත අශ්වයන් ද මරා දැමීමට තීන්දු කරනු ලැබ ඇත.

වන අසුන්ටත් අපල කාලයක්

එම සත්ත්ව සංහාරය සඳහා මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් සපයනු ලබන්නේ ඕස්ට්‍රේලියානු පරිසර සහ ජල සම්පාදන දෙපාර්තමේන්තුව මගිනි.

රට මුහුණ දී අති දැඩි උණුසුම් සහ වියළි කාලගුණය හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරා ඔස්ට්‍රේලියාව වනගිනි උවදුරකට මුහුණ දී ඇත. එහෙත් ඔටු සංහාරය සහ එම වනගිනි අතර සෘජු සම්බන්ධයක් නොමැති බවද පැවසේ.

ඔටු සංහාරය කෙරෙන්නේ ඕස්ට්‍රේලියානු ආදිවාසී ගෝත්‍ර කිහිපයක් ජීවත්වෙන ජන ඝනත්වයක් නොමැති, දකුණු ඕස්ට්‍රේලියාවේ 'අනංගු පිට්ජන්ට්ජට්ජාරා යන්කුනිට්ජට්ජාරා' ( Anangu Pitjantjatjara Yankunytjatjara (APY) නම් කලාපයෙහිය.

ඔටුවා,ඔස්ට්‍රේලියාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාවේ ඔටුවා බෝ කරන ලද්දේ බ්‍රිතාන්‍ය සංක්‍රමණිකයන් විසිනි

" ඔටුවන් වතුර සොයා ගම් වැදීමත් සමඟ APY පලාතේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ජීවත් වෙන ආදිවාසී ප්‍රජා සමූහවලට (Aboirignal communities) අයත් ඉඩම් සහ ඔවුන්ගේ ගොවිපොළවල සතුන් අතිශයින් දුෂ්කර තත්ත්වයකට පත් වී තිබෙනවා" APY පලාතේ ප්‍රධාන කළමනාකරු රිචර්ඩ් කිං (Richard King) විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයක දැක්වේ.

"දිගටම පවතින වියළි කාලගුණයත් APY පලාතේ සමස්ත ප්‍රජාවට විශාල ඔටු රංචු මගින් එල්ල වී තිබෙන තර්ජනයත් අනුව ඔටුවන් පාලනයට ඉක්මන් පියවරක් ගත යුතුව තියෙනවා" රිචර්ඩ් කිං (Richard King) වැඩිදුරටත් සඳහන් කරයි.

අපි ඉතාම අප්‍රසන්න උණුසුම් කාලගුණයක් සහ අපහසු තත්ත්වයක් තුළ සිර වී සිටිනවා. අපි ඉන්න තත්ත්වය හොඳ නැහැ. මොකද? ඔටුවෝ ඇවිත් අපේ වැටවල් කඩා දානවා. ගෙවල් ළඟට ඇවිත් බිත්තිවල සවි කරලා තියෙන වායුසමීකරණ යන්ත්‍රවලින් වතුර බොන්න උත්සාහ කරනවා" APY පලාතේ විධායක මණ්ඩලයේ සාමාජික මරීටා බේකර් පවසන්නීය.

ඔටුවන් ඔස්ට්‍රේලියාවට ආවේණික ජීවීන් විශේෂයක් නොවේ. දැන් එහි බෝවී සිටින ඔටුවන් එරටට හඳුන්වා දෙනු ලැබ තිබෙන්නේ 19 ශතවර්ෂයේ එරට ජනාවාස කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. ඔවුන් එම ඔටුවන් ගෙන්වා ගෙන තිබෙන්නේ ඉන්දියාව,ඇෆ්ඝනිස්තානය සහ මැද පෙරදිග රටවලිනි.

දැනට ඕස්ට්‍රේලියානු භූමියේ වෙසෙන ඔටුවන් සංඛ්‍යාව විශාල සමූහයක් වනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇති අතර, එරට මධ්‍යම පලාත්වල වෙසෙන ඔටුගහනය ලක්ෂ ගණනක් වනු ඇතැයි සැළකේ.

ඔස්ට්‍රේලියාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වනගිනි නිවීමට ඕස්ට්‍රේලියානුවන් දරණ ප්‍රයත්නය

ගම්බිම්වලට ඇතුල්වෙන ඔටුවන්ට මිනිස් ජනවාස සහ ඒවායේ ඉඩකඩම්වල වැටවල් ආදී ගොවිපොළ දේපොළ විනාශ කළ හැකි අතර, එම ගම්බිම්වල මහජන පාරිභෝජනයට අයත් ජලය බීමට ද ඔටුවන්ට අවස්ථාව ලැබේ.

ඊට අමතරව ඔටුවන් විසින් නිකුත් කරනු ලබන 'මීතේන්' වායුව(methane) දේශගුණ විපර්යාසය කෙරෙහි බලපායි.