විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි දකුණු අප්‍රිකාවේ සොසිබිනී ටුන්සිගෙන් පණිවුඩයක්

Other contestants applauding Zozibini Tunzi

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2011 වසරේ විශ්ව රූ රැජින බවට පත් ලෙයිලා ලෝපස්ට පසු එම කිරුළ දිනා ගත් පළමු කළු ජාතික කාන්තාව වන්නේ සොසිබිනීය

"මගේ වගේ සමක් සහ කොණ්ඩයක් තිබෙන, මා වැනි කාන්තාවන් කිසිදාක ලස්සනයි කියා සලකපු නැති ලෝකයක තමයි මම හැදී වැඩුනේ"

"ඒක අදින් නවතිනවා කියා මා සිතනවා"

ඉහත දැක්වෙන්නේ විශ්ව රූ රැජින ලෙස කිරුළු පළන් දකුණු අප්‍රිකාවේ සොසිබිනී ටුන්සි දුන් පණිවුඩයකි.

පසුගිය ඉරිදා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා නුවර පැවති විශ්ව රූ රැජින තරගාවලිය සඳහා ලොව පුරා කතුන් අනූවකට වැඩි පිරිසක් සහභාගී වූහ.

සොසිබිනි කිරුළට හිමිකම් කීවේ අවසන් තරගකාරියන් වූ පුවොටෝ රීකෝ හි මැඩිසන් ඇන්ඩර්සන් සහ මෙක්සිකෝවේ සොෆියා ඇරගන් පරාජය කරමිනි.

දේශගුණ විපර්යාස, උද්ඝෝෂණ සහ සමාජ ජාල වැනි විෂයන් සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් අවසන් තරගකාරියන් වෙත යොමු කෙරිණි.

Zozibini Tunzi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ වගේ සමක් සහ කොණ්ඩයක් තිබෙන, මා වැනි කාන්තාවන් කිසිදාක ලස්සනයි කියා සලකපු නැති ලෝකයක තමයි මම හැදී වැඩුනේ"

විසි හය හැවිරිදි සොසිබිනි වෙත යොමු කරන ලද අවසන් පැනය වූයේ 'වර්තමානයේ බාලවියේ පසුවන ගැහැණු ළමුන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද?' යන්නය.

'නායකත්වය, ඇයගේ පිළිතුර විය.

"නායකත්වය කියන්නේ දීර්ඝ කාලයක සිට බාල වයසේ ගැහැණු ළමුන් සහ කාන්තාවන් තුළ අඩුවෙන් තිබෙන දෙයක්. එසේ වී තිබෙන්නේ කාන්තාව එසේ විය යුතුයි කියා සමාජය දී තිබෙන ලේබලය නිසයි, නැතුව අපේ ඕනෑකමට නොවෙයි," යනුවෙන් ඇය කියා සිටියාය.

"මම හිතන්නේ අප තමයි ලෝකයේ ඉන්න බලසම්පන්නම වර්ගයා. අපට සියලුම අවස්ථා ලැබිය යුතුයි කියා මා සිතනවා"

"අවස්ථා උදා කර ගත යුතුයි. බාල වියේ පසුවන ගැහැණු ළමුන්ට ඉගැන්විය යුත්තේ එයයි"

2011 වසරේ විශ්ව රූ රැජින බවට පත් ලෙයිලා ලෝපස්ට පසු එම කිරුළ දිනා ගත් පළමු කළු ජාතික කාන්තාව වන්නේ සොසිබිනීය.

ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපස් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සුබ පතමින් පවසා තිබුණේ "සුබ පැතුම් කෙල්ලේ. ඔබ අපව ආඩම්බරයට පත් කළා" යනුවෙනි.

Zozibini Tunzi being crowned

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සිය ජයග්‍රහණය සම්බන්ධන්යෙන් සටහනක් තබමින් සොසිබිනි කියා සිටියේ " අද එක් දොරක් විවර වුණා. ඒ තුළින් පිය නැගීමට අවස්ථාව ලත් පුද්ගලයා වීම ගැන මගේ කෘතවේදීත්වය පළ කරනවා" යනුවෙනි.

"මේ මොහොත දකින සෑම කුඩා ගැහැණු ළමයෙක්ම තමන්ගේ සිහිනවල ඇති බලය ගැන සෑමදාම විශ්වාස කරාවි. ඔවුන්, මා තුළින් ඔවුන්ගේම මුහුණ දකීවී"

"මගේ නම සොසිබිනී ටුන්සි බව මා ආඩම්බරයෙන් කියනවා, 2019 විශ්ව රූ රැජින"

ස්වභාවික කෙස් කළඹක් සහිත කළු ජාතික කාන්තාවක් විසින් විශ්ව රූ රැජින කිරුළ දිනා ගනු ලැබීමේ වැදගත්කම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබේ.

පසුගිය අගෝස්තු මස දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස තෝරා ගැනුණු සොසිබිනී විශ්ව රූ රැජින සංවිධායකයන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ "ස්වභාවික සුන්දරත්වය වෙනුවෙන් ආඩම්බරයෙන් පෙනී සිටින්නියක්" ලෙසය.

එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඇය "උද්යෝගිමත් ක්‍රියාකාරිනියක් මෙන්ම ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි සටනට දායක වූ" කාන්තාවක් බවය.

ස්ත්‍රී පුරුෂභාවය මුල් කර ගනිමින් සමාජයේ පවතින ස්ථාපිත ආදර්ශ (stereotypes) වෙනස් කිරීමට ඇය සිය සමාජ ජාල ක්‍රියාකාරීත්වය කැප කර ඇති බවත් එහි සඳහන් වේ.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

සොසිබිනී දිනා ගත් ත්‍යාග මොනවාදැයි යන්න විශ්ව රූ රැජින සංවිධායකයන් විසින් නිශ්චිතව ප්‍රකාශයට පත් කරනු ලැබ නොමැත. ඇයට වසරක කාලයක් නිව්යෝක් නගරයේ කුලී රහිත මහල් නිවසක් සහ ඩොලර් 100,000 ක පමණ වේතනයක් හිමි වෙතැයි අපේක්ෂා කෙරේ.

ඇය මාධ්‍ය සහ නිරූපන ක්ෂේත්‍රයේ වැඩසටහන් සඳහා ලොව පුරා සංචාරය කරනු ඇත.

මේ අතර විශ්ව රූ රැජින සහ සෙසු රූ රැජින තරගාවලි සම්බන්ධයෙන් විවේචන ද එල්ල වේ. වත්මන් සමාජය තුළ ඒ සඳහා ඉඩක් තිබේදැයි යන්න ඇතැම් පුද්ගලයෝ ප්‍රශ්න කරති.