සැමුවෙල් ලිට්ල්: ඇමරිකාවේ 'දරුණුතම දාම මිනීමරුවා' බව එෆ්බීඅයි තහවුරු කරයි

Serial Killer in US

ඡායාරූප මූලාශ්‍රය, FBI

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් ඝාතනය කළ පුද්ගලයන් සිර මැදිරියේ සිට සිතුවමට නැගීමට සැමුවෙල් ක්‍රියා කර තිබිණි.

දශක හතරක් ඇතුළත මිනිසුන් 93 දෙනෙකු ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ පුද්ගලයෙකු එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුතම දාම ඝාතකයා ලෙස ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් හඳුන්වනු ලැබ ඇත.

1970 සිට 2005 වර්ෂය දක්වා කාල සීමාව තුළ සිදු වූ ඝාතන පනහකට 79 වෙනි වියේ පසුවන 'සැමුවෙල් ලිට්ල්' වගකිව යුතු බව පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

සැමුවෙල් කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කිරීමේ වරදට 2012 සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටී.

පහසුවෙන් අනතුරට භාජනය විය හැකි කාන්තාවන් සැමුවෙල්ගේ ඉලක්කය වී තිබිණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කළු ජාතිකයන් සහ ලිංගික සේවයේ යෙදෙන්නන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව නිලධාරීහු පවසති.

බොක්සිං ක්‍රීඩකයෙක් වන සැමුවෙල් පුද්ගලයෙකුගේ ගෙල මිරිකා මරා දැමීමට පෙර ඔවුන්ට පහර දී තිබේ. මේ හේතුවෙන්, මියගිය සෑම පුද්ගලයෙකුම ඝාතනය කළ බවට "නිශ්චිත ලකුණු" සොයා ගැනීම අපහසු වී ඇත.

සමහර මරණ අනතුරකින් හෝ මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් සිදු වූ ඒවා ලෙස වැරදි ලෙස වාර්තා කර තිබිණි. මෙම හේතූ නිසා ඇතැම් මරණ සම්බන්ධයෙන් ඇමරිකානු පොලිසිය කිසි දිනෙක පරීක්ෂණ පවත්වා නොමැත.

එමෙන්ම, ඇතැම් මෘත ශරීර සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව එෆ්බීඅයි (FBI) නියෝජිතයෝ පැවසූහ.

"සැමුවෙල්ගේ පාපොච්චාරණ සියල්ල විශ්වාස කළ හැකි යැයි," සිය විශ්ලේෂකයන් විශ්වාස කරන බව එෆ්බීඅයි ආයතනය සඳුදා (ඔක්: 7) ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

"ඝාතනය කළ අය ගැන සොයන්න කිසිවෙක් නැහැ යැයි හිතපු නිසා, අවුරුදු ගණනාවක් තිස්සේ සැමුවෙල් ලිට්ල් හිතලා තියෙන්නේ ඔහු කවදාවත් නීතියට කොටු වෙන එකක් නැහැ කියලා," එෆ්බීඅයි හි අපරාධ විශ්ලේෂකයෙකු වන ක්‍රිස්ටි පලසෝලෝ සිය ප්‍රකාශයේ සඳහන් කර තිබිණි.

"ඔහු මේ වන විට සිරගත වී සිටියත්, එෆ්බීඅයි විශ්වාස කරනවා ඝාතනය වූ සෑම කෙනෙකුටම යුක්තිය ඉෂ්ට විය යුතු බව සහ ඒ සෑම නඩුවක්ම නියමිත ආකාරයට අවසන් කරන්න."

ඔහු පාපොච්චාරණය කළ අනෙක් ඝාතන 43 සනාථ කර ගැනීම සඳහා ඇමරිකාවේ නීතිය බලාත්මක කරන ආයතන ක්‍රියා කරමින් සිටී.

Serial Killer in US

ඡායාරූප මූලාශ්‍රය, WISE COUNTY JAIL

ඡායාරූප ශීර්ෂ වැකිය, සැමුවෙල් ලිට්ල්ගේ වර්තමාන ඡායාරූපයක්.

කෙන්ටකි, ෆ්ලොරීඩා, ලුයිසියානා, නවාඩා සහ ආර්කන්සෝ ප්‍රාන්තවල දී ඝාතනයට ලක් වූවන් හඳුනාගැනීමට මහජන සහය පතමින් නඩු පහක අතිරේක විස්තර හෙළි කිරීමට නිලධාරීන් කටයුතු කර තිබේ.

තමන් ඝාතනය කළ පුද්ගලයන් සිර මැදිරියේ සිට සිතුවමට නැගීමට සැමුවෙල් ක්‍රියා කර තිබූ අතර, ඝාතනයට ලක් වූවන් හඳුනාගැනීම පහසු වීම සඳහා එෆ්බීඅයි නියෝජිතයන් මෙම චිත්‍ර ප්‍රසිද්ධ කර තිබිණි.

සැමුවෙල් මෙම ඝාතන පිළිබඳ විස්තර කරන වීඩියෝ ද ප්‍රසිද්ධියේ පළ කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

1970 වසරවල මුල් භාගයේ 'මරියෑන්' නොඑසේනම් 'මේරි ඈන්' ලෙස හැඳින්වූ තරුණ, කළු ජාතික, සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් පිළිබඳ සිදුවීම, විසඳා ගැනීම සඳහා එෆ්බීඅයි පරීක්ෂකයින් විසින් මහජන සහය පතනු ලබන සිදුවීම් අතරින් එකකි. තමන් ඇය මුණ ගැසුණු බව සැමුවෙල් පවසයි.

උක් වගාබිමක් අසල මාර්ගයක දී එම 19 හැවිදිරි කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇයගේ ශරීරය 'එවර්ග්ලෙඩ්ස්' නම් ප්‍රදේශයට ඇදගෙන ගිය ආකාරය ඔහු විස්තර කර ඇත.

"පොළොව මඩ වෙලා තිබුණේ. මම ඇයව අත ඇරියාම මුහුණ බිමට පහත් වෙලා ඇදගෙන වැටුණා," සැමුවෙල් පැවසුවේය.

මේ තොරතුරුද කියවන්න:

1993 දී ලස් වේගස්හි හෝටල් කාමරයක කාන්තාවකගේ ගෙල මිරිකා සිදු කළ ඝාතනයක් ගැන ද ඔහු එක් අවස්ථාවක හෙළි කළේය. මෙම සිද්ධියට පෙර අදාළ කාන්තාවගේ පුතා හමු වී අතට අත දී ආචාර කළ බව ද ඔහු පැවසීය. සැමුවෙල් මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇයගේ සිරුර සිය වාහනයේ දමාගෙන ගොස් නගරයෙන් පිටත පිහිටි බෑවුමකට තල්ලු කර තිබේ.

Serial Killer in US

අදාළ ඝාතන ගැන විස්තර සියල්ල සැමුවෙල්ගේ මතකයේ තිබුණත් නිශ්චිත දින වකවානු කිව නොහැකි වූ නිසා පරීක්ෂණවලට බාධා එල්ල වී තිබෙන බව නිලධාරීහු පවසති.

මෑතක දී කළ පාපොච්චාරණ මත සැමුවෙල්ට දඬුවම් නියම වේ දැයි යන්න නොපැහැදිලිය.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට 2012 දී කෙන්ටකි ප්‍රාන්තයේ දී සැමුවෙල් අත්අඩංගුවට ගෙන කැලිෆෝනියා ප්‍රාන්ත පොලිසිය වෙත භාර දී ඇත. එහි දී ඔහු ජාන පරීක්ෂාවකට ද (DNA) ලක් කර තිබේ.

සන්නද්ධ කොල්ලකෑම්වල සිට ස්ත්‍රී දුෂණ දක්වා බරපතල අපරාධ බොහොමයකට සැමුවෙල් සම්බන්ධ බවට වාර්තා වී තිබිණි.

1987 සිට 1989 දක්වා කාලය ඇතුළත ලෝස් ඇන්ජලීස් ප්‍රදේශයේ සිදු වූ නොවිසඳූනු ඝාතන දෙකකට සැමුවෙල් සම්බන්ධ යැයි ජාන පරීක්ෂාවෙන් හෙළි විණි. මෙම ඝාතනවලට තමන් නිවැරදිකරු යැයි පැවසුව ද නඩු විභාගයෙන් පසු ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් තුනක් ලබා දීමට අධිකරණය ක්‍රියා කළේය. එමෙන්ම, සමාව ලබා ගැනීමට ඔහුට අවස්ථාවක් නොමැති බව ද එම තීරණයේ සඳහන් විය.

තවත් තොරතුරු: