විවාහයට පෙර ලිංගික සබඳතා තහනම්: යෝජිත නීතියට ඉන්දුනීසියාවේ විරෝධතා

විවාහයට පෙර ලිංගික සබදතා තහනම් කෙරෙන නව නීතියට ඉන්දුනීසියාවේ දැඩි විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

විවාහ වීමට පෙර ලිංගික සබඳතා පැවැත්වීම තහනම් කරමින් ගෙන ඒමට නියමිත නව අපරාධ පනතට එරෙහිව ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති විරෝධතා මර්දනය කිරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

අදාළ පනත් කෙටුම්පතට එරෙහි විරෝධතා ඉන්දුනීසියාවේ සෙසු නගරවල ද පැවැත්විණි.

අදාළ පනත මගින් බොහෝ ආකාරයේ ගබ්සා කිරීම් සහ ජනාධිපතිවරයාට අපහාස කිරීම නීති විරෝධී බවට ප්‍රකශයට පත් වනු ඇත.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතත් අවසානයේදී එය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමේ ඉඩක් පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගේ අවධානය යොමු වේ.

මතභේදාත්මක පනතේ අන්තර්ගත වන්නේ කුමක් ද?

යෝජිත නව අපරාධ පනත් කෙටුම්පතේ අන්තර්ගත කරුණු මෙසේය.

විවාහ වීමට පෙර ලිංගික සබදතා පැවැත්වීම අපරාධයක් වන අතර එවැනි වරදකට වසරක සිර දඩුවමක් හිමි විය හැක.

විවාහ නොවී එකට වාසය කිරීම (Living together) මාස 6ක සිර දඩුවම් ලැබිය හැකි වරදකි.

ජනාධිපතිවරයාට, උප ජනාධිපතිවරයාට, ආගමට, රජයේ ආයතනවලට සහ ජාතික ධජය, ජාතික ගීය වැනි සංකේතවලට අපහාස කිරීම නීතිවිරෝධී ක්‍රියාවකි.

සෞඛ්‍යමය අවශ්‍යතාවක් හෝ දූෂණයට ලක් වීමක් නොවූ අවස්ථාවක ගබ්සා කිරීම වසර 4ක සිර දඩුවම් ලැබිය හැකි වරදකි.

පනත් කෙටුම්පත අඟහරුවාදා (සැප්: 24) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත්, නව නීති පිළිබදව තවදුරටත් සලකා බැලිය යුතු බව පවසමින් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සිකුරාදා දක්වා කල් දැමීමට කටයුතු කළේය.

ජනතාව විරෝධය පළ කරන්නේ ඇයි?

විවාහයට පෙර ලිංගික සබදතා තහනම් කෙරෙන නව නීතියට ඉන්දුනීසියාවේ දැඩි විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

යෝජිත පනත සම්මත කර ගැනීම කල් දැමුව ද, ඉන්දුනීසියානුවන් වැඩි දෙනෙකු සැක කරන්නේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ඉඩකඩක් තවමත් පවතින බවය.

ඊට අමතරව, මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ මුලිනුපුටා දැමීම සඳහා වැදගත් ආයතනයක් වන දූෂණ පිටුදැකීමේ කොමිසම දුර්වල කරමින් නව නීතියක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ද දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අඟහරුවාදා සිදුවූයේ කුමක් ද?

ශිෂ්‍යයින් බහුතරයකගේ සහභාගිත්වයෙන් විරෝධතාකරුවන් දහස් ගණනක් ඉන්දුනීසියාව පුරා පිහිටි නගරවල වීදි බැස්සෝය.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ප්‍රධාන වශයෙන්ම ගැටුම් සිදුවූයේ, ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරදීය. ඒ, පාර්ලිමේන්තු කතානායකවරයා මුණ ගැසිය යුතු බවට විරෝධතාකරුවන් බල කිරීමත් සමගය.

එහිදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

විවාහයට පෙර ලිංගික සබදතා තහනම් කෙරෙන නව නීතියට ඉන්දුනීසියාවේ දැඩි විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, AFP

විරෝධතාවලට එක්ව සිටි කාන්තාවක අතේ තබාගෙන සිටි පුවරුවක දැක්වුණේ, "මගේ ලිංග ප්‍රදේශය අයිති ආණ්ඩුවට නෙවේ," යනුවෙනි.

සුලවෙසි දිවයිනේ පිහිටි යෝග්‍යාකර්තා සහ මකසාර් ඇතුළු වෙනත් ප්‍රදේශ රැසක දෙවෙනි දිනටත් විරෝධතා පැවැත්වේ.

බටහිර ජාවාහි පිහිටි ඉස්ලාමීය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි ශිෂ්‍යයෙකු වන ෆුවාඩ් වහ්‍යුදීන් රොයිටර් පුවත් සේවයට පැවසුවේ,"ජනතා හිතවාදී නොවන, නමුත් දූෂිතයින්ට වාසි ගෙනන, දූෂණ පිටුදැකීමේ ආයතනය සම්බන්ධයෙන් ගෙන එන නව නීතියට විරෝධය පෑම සඳහා අපි පාර්ලිමේන්තුව වෙත යනවා," යනුවෙනි.

විරෝධතා හේතුවෙන් ජාකර්තා නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,000කට අධික පිරිසක් යොදවා ඇතැයි වාර්තා වේ.

තවදුරටත් කියවන්න.