එච්අයිවී ප්‍රතිකාර: පිළිකා රෝගී එච්අයිවී ආසාදිතයා රෝග දෙකෙන්ම බේරේ

පිළිකා රෝගී එච්අයිවී ආසාදිතයා රෝග දෙකෙන්ම බේරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි එච්අයිවී ආසාදිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පූර්වජ සෛල (Stem cell) බද්ධ කිරීමකට භාජනය කිරීමෙන් පසු ඔහුගේ එච්අයිවී රෝගී තත්වය යටපත්වී තිබේ.

වෛද්‍ය කණ්ඩායමක් නේචර් (Nature) සඟරාවට පවසා ඇත්තේ මෙවැනි තත්වයක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙය බවය.

ලන්ඩන් නගරයේ වාසය කරන මෙම රෝගියා පිළිකාව සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පසුගිය මාස 18 පුරාවට එච්අයිවී ඖෂධ ලබාගෙන නොමැති බව වෛද්‍යවරු පැවසුහ.

නමුත් පර්යේෂකයින් පවසන්නේ මෙම රෝගියාගේ එච්අයිවී තත්වය සම්පුර්ණයෙන් සුවවී ඇත්දැයි තවමත් නිශ්චිතව කිව නොහැකි බවය.

එච්අයිවී සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ක්‍රමවේදය යොදා ගැනීම ප්‍රයෝගික නොවන බව විශේෂඥයන් පැවසුවත් යම් දිනක එච්අයිවී සුව කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් හඳුනාගැනීමට එය උපකාරී විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙතෙක් නම ප්‍රසිද්ධ කර නොමැති එම බ්‍රිතාන්‍ය ජාතික පිරිමි රෝගියා එච්අයිවී අසාදිතයෙක් බව 2003 දී හඳුනාගත් අතර ඔහු Hodgkin's lymphoma නම් පිළිකා තත්වයෙන් පෙළෙන බව 2012 දී සොයා ගැනින.

පිළිකාව සඳහා විකිරණ ප්‍රතිකාරවලට ඔහු ලක් කෙරුණු අතර එච්අයිවී සඳහා ප්‍රතිරෝධීත්වය දක්වන පුද්ගලයෙකුගේ පූර්වජ සෛල ඉන් අනතුරුව ඔහුට බද්ධ කෙරිණ. එමගින් ඔහුගේ එච්අයිවී සහ පිළිකා යන රෝගී තත්වයන් දෙකම යටපත්ව ඇත.

ලන්ඩන් විශ්වවිද්‍යාලය, ඉම්පීරියල් විශ්වවිද්‍යාලය, කෙම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල වල පර්යේෂකයින් මෙම නව හඳුනාගැනීම හා සම්බන්ධ විය.

කියවන්න:

The patient was able to stop taking antiretroviral therapy drugs to control his HIV

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එච්අයිවී පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඔහු නවතා ඇත

රෝගියෙක් හට මේ ආකාරයට ප්‍රතිකාර ලබා දී එච්අයිවී තත්වයෙන් මිදුණු දෙවන අවස්ථාව මෙය වේ.

මීට වසර 10කට පෙර ජර්මනියේ බර්ලින් නුවර රෝගියෙකු හට එච්අයිවී ප්‍රතිරෝධී පුද්ගලයෙකුගෙන් ලබාගත් ඇට මිදුළු බද්ධ කරන ලදි.

එච්අයිවී/ඒඩ්ස් රෝගය පරාජය කළ ප්‍රථම තැනැත්තා ලෙස තිමොති බ්‍රවූන් නම් එම පුද්ගලයා සැලකේ.

ඔහු අවස්ථා දෙකකදී ඇට මිදුළු බද්ධ කිරීම් වලට භාජනය කළ අතර ලියුකේමියා රෝගී තත්වය සඳහා මුළු සිරුරම විකිරණ ප්‍රතිකාර සඳහා ලක් කළේය.

එය ඉතා බරපතල ප්‍රතිකාර ක්‍රමයකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවීන්ද්‍ර ගුප්තා පැවසුවේ, "එකම ක්‍රමවේදය භාවිත කර දෙවැනි රෝගියා ද සුව කිරීම තුළින් අප පෙන්වා දුන්නා බර්ලින් සිද්ධිය අහම්බයක් නොවන බව. මෙම රෝගීන් දෙදෙනාම එච්අයිවී තත්වයෙන් සුව වී ඇත්තේ අප භාවිත කළ ප්‍රතිකාර ක්‍රමවේදය නිසා," බවය.

මහාචාර්ය ගුප්තා මෙම ගවේෂණය සිදු කළ කණ්ඩායමේ ප්‍රධානියා විය.

මෙම සොයාගැනීම බලාපොරොත්තු සහගත වුවත් ලොව පුරා වෙසෙන එච්අයිවී තත්වයෙන් පීඩා විඳින පුද්ගලයින්ට නව ප්‍රතිකාර ක්‍රමයක් මෙමගින් නොලැබේ.

වර්තමානයේ ඵලදායි ප්‍රතිකාර ක්‍රමවේදයන් එච්අයිවී පාලනය සඳහා භාවිත වන අතර වෛරස සිය ශරීරය තුළ ඇතත් එම නිසා එවැනි පුද්ගලයින්ට දිගු කලක් ජීවත්වීමට හැකියාව ලැබී තිබේ.

නමුත් මෙම නවතම සිදුවීම එච්අයිවී පාලනයට සහ සුවකිරීම සඳහා ක්‍රමවේදයන් සොයමින් සිටින විශේෂඥයන් හට මහත් රුකුලක් වෙතැයි සැලකේ.

මෙම ගවේෂණය හා සම්බන්ධව කටයුතු කළ මහාචාර්ය එදුවර්දෝ ඔලවරියා (Prof Eduardo Olavarria) පැවසුවේ පුර්වජ සෛල බද්ධ කිරීමෙන් ලද සාර්ථක ප්‍රථිපලය එච් අයි වී වෛරසය පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයන් හඳුනාගැනීම සඳහා උපකාරී වන බවය.

මේ තොරතුරුත් කියවන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය, 'ආදරය, රැකවරණය අහිමිව HIV ආසාදිත කාන්තාවෝ සෝ සුසුම් හෙලනවා'