ඩයනා කුමරිය සිටියා නම් HIV ආසාදිතයන් වෙනුවෙන් අදත් හඬ නගනවා - හැරී කුමරු

ඇටිටිටුඩ් සඟරාව

HIV ඒඩ්ස් ආසාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් වස් ඩයනා කුමරිය කළ මෙහෙය පිළිබඳව ඇයගේ කනිටු පුත් හැරී කුමරු ප්‍රණාමය පුද කරයි.

ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන්නේ ද යන්න විමසන පරීක්ෂණවලට ඉදිරිපත් වන මෙන් ඔහු සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කරයි.

බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවෙකු වන හැරී කුමරු එම ඉල්ලීම කළේ 'ඇටිටිටුඩ්' (Attitude) සඟරාව විසින් සිය මව වෙත ප්‍රදානය කරන ලද 'ලෙගසි' (Legacy) සම්මානය භාර ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

සඟරාව ඩයනා කුමරියට එම සම්මානය පිරිනැමුවේ ඇයගේ මරණයෙන් විසි වසරක් ගෙවී යන අවස්ථාවේදීය.

සිය මව ජීවතුන් අතර සිටියේ නම්, ඇය අදත් එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද හැරී කුමරු පැවසීය.

The award was presented by Ian Walker and Julian La Bastide, who had both met the princess

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එච්අයිවී/ ඒඩ්ස් ආසාදිතයන් උදෙසාම වෙන් වූ බ්‍රිතාන්‍යයේ පළමු රෝහල් වාට්ටුව 1987 අප්‍රේල් මාසයේ දී විවෘත කරනු ලැබුවේ ඩයනා කුමරිය විසිනි.

ඒ අවස්ථාවේ ලෝක ජනමාධ්‍ය ඉදිරියේ ලන්ඩනයේ මිඩ්ල්සෙක්ස් රෝහලේ (London Middlesex Hospital) දී ඇය HIV ආසාදිතයන්ට අතට අත දෙමින් ඉතා සුහදව කතාබස් කළාය.

අත්වැසුම් සහිතව එසේ ඔවුන්ට අතට අත දෙමින්, රෝගියෙකු ස්පර්ශ කිරීම මගින් HIV/ඒඩ්ස් වැළඳෙන බවට සමාජය තුළ පවතින දුර්මතයට ඇය ප්‍රසිද්ධියේ අභියෝග කළාය.

"එදා, රූපවාහිනී කැමරා ඉදිරියේ එච්අයිවී ආසාදිත 32 හැවිරිදි පුරුෂයෙකුගේ අතට අත දුන්න වෙලාවේ, තමන් කරන්නේ මොකක්ද කියල ඇය හොඳින්ම දැන සිටියා," සම්මාන උළෙල අමතමින් හැරී කුමරු පැවසීය.

Princess Diana visiting the London Lighthouse, a centre for people affected by HIV in October 1996

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1996 දී HIV ආසාදිතයන් සිටින මධ්‍යස්ථානයක දී රෝගීන් හමු වූ ඩයනා කුමරිය

එවක් පටන් සිය මව එච්අයිවී ආසාදිතයන්ගේ හිමිකම් වෙනුවෙන් දියත් කළ ක්‍රියාදාමය මතකයට නැගූ හැරී කුමරු, "සමලිංගික භීතියත් සමග එකතුවෙලා, එදා සාපේක්ෂව අලුත් මේ රෝගය ගැන භයානක මතවාදයක් නිර්මාණය කෙරෙමින් තිබුණු බව ඇය දැන සිටියා," යනුවෙන් ද සඳහන් කළේය.

සිය මව ගේ ජයග්‍රහණ පිළිබඳව තමා මෙන්ම සිය සොයුරු විලියම් කුමරු ද "ඉතා ආඩම්බර වන" බව පවසන හැරී කුමරු වැඩිදුරටත් සඳහන් කළේ, එච්අයිවී පරීක්ෂණය සහ ප්‍රතිකාර ලොව පුරා සියලුම වැසියන්ට නොමිලේ ලබා දිය යුතු යැයි මේ මොහොතේ සිය මව ජීවතුන් අතර සිටියේ නම් "බල කරනු ඇති" බවය.

HIV/ඒඩ්ස් ආසාදනය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ද තවමත් බොහෝ දුර්මත පැතිර යමින් පවතී.

"කුණු ලෙඩ කාරයෝ, ජරා යක්කු" හේතුවෙන් සිය දරුවන්ටද අයහපතක් වෙතැයි පවසමින් ගම්වැසියන් නිවසේ හිමිකරුට පැමිණිලි කිරීම හේතුවෙන් පසුගිය වසරේ "අභිනන්දන වීරවරියක" ලෙසින් පිදුම් ලැබූ එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් කැප වූ ක්‍රියාකාරිනියක වන ප්‍රින්සි මංගලිකාට තමන් විසූ නිවසින් පවා ඉවත්වීමට සිදුවිය.

වීඩියෝ ශීර්ෂ වැකිය, 'ආදරය, රැකවරණය අහිමිව HIV ආසාදිත කාන්තාවෝ සෝ සුසුම් හෙලනවා'

රෝගයක් වැළඳුනු පමණින් ඔවුන් සමාජයෙන් කොන් නොකළ යුතු බව ඇය බීබීසී සිංහල සේවය සමග ඉතා හැඟුම්බරව අදහස් දක්වමින් කියා සිටියාය.

එච්අයිවී ආසාදිතයෙකු බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලක් අධ්‍යාපනය අහිමිව මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශයක් මීට වසරකට පමණ ඉහතදී ප්‍රබල ආන්දෝලනයකට ලක්විය.

ඉන් අනතුරුව සිය ප්‍රකාශය පිළිබඳව "සිත් රිදුනා නම් කණගාටු වෙන" බව බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, පසුව දරුවාට පාසලක් ලබාදීමට ද මැදිහත් විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, HIV ආසාදිතයන් කොන්කිරීම වැළකීමට නීති?

මේ අතර එම දරුවා ඇතුළු එච්අයිවී ආසාදිතයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කරන මෙන් පසුගියදා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අගය කරමින් ප්‍රකාශයක් කළ UNAIDS එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්ධන වැඩසටහන, එවැනි අධිකරණ තීන්දුවක් දුන් පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව බව ද සඳහන් කළේය.

HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මේ වසර මුලදී බීබීසී සිංහල සේවයට පැවසීය.