පොලිසියට 'බොරු කී' බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට සිර දඬුවම්

Fiona Onasanya

ඡායාරූප මූලාශ්‍රය, Jonathan Brady/PA

ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිඥ ෆියෝනා ඔනසන්යා

අධිවේගී රිය ධාවනය සම්බන්ධයෙන් පොලිසියට බොරු කී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සිර දඬුවම් ලබා තිබේ.

දශක තුනක පමණ කාලයක් තුළ සිර දඬුවම් ලද පළමු පාර්ලිමේන්තු සාමාජිකාව ලෙස නීතිඥ ෆියෝනා ඔනසන්යා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වේ.

2017 වසරේ ජූලි මාසයේදී පැයට සැතපුම් 30 වේග සීමා කලාපයක පැයට සැතපුම් 41ක වේගයකින් රිය ධාවනය කළ බවට නීතිඥ ෆියෝනා ඔනසන්යාට චෝදනා එල්ල වූ අතර, ඇය පවසා තිබුණේ, තමන් එම අවස්ථාවේ රියැදුරු අසුනේ නොසිටි බවකි.

පීටර්බරා ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය අධිකරණය නොමග යැවීම සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු කම්කරු පක්ෂයෙන් නෙරපන ලදී.

අදාළ නඩුව යළි කැඳවීමෙන් පසුව ඇයට මාස තුනක සිර දඬුවමක් නියම විය.

සොහොයුරාටත් දඬුවම්

PA

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය සිය මෝටර් රථය වේග සීමාව ඉක්මවා ධාවනය කළ අයුරු කැමරාවල සටහන් වී තිබිණි.

ඇයට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩුවෙන් චෝදනා එල්ල වී තිබුණේ, වේග සීමා ඉක්මවා රිය ධාවනය කරන අතරතුර ජංගම දුරකතනය ද භාවිත කළ බවටය.

මීට පෙර ටෙරී ෆීල්ඩ් නමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ස්ටර්ලිං පවුම් 373ක බදු මුදලක් නොගෙවීම හේතුවෙන් දින 60ක සිර දඬුවමකට ලක් වූයේ, 1991 වසරේදීය.

මේ අතර පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී ෆියෝනා පවසා ඇත්තේ, සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

අධිකරණය නොමග යැවීමට සහය දීම හේතුවෙන් ඇයගේ සොහොයුරා වන ෆෙස්ටස් ඔනාසන්යාට මාස 10ක සිර දඬුවම් නියම විය.

ෆියෝනා පීටර්බරාහි කම්කරු පක්ෂ මන්ත්‍රීවරිය ලෙස පත් වූයේ, 2017 වසරේ ජූනි මාසයේදීය. ඇය මෙම වරද සම්බන්ධයෙන් චෝදනා ලැබුවේ, පත් වීමෙන් සති කිහිපයකට පසුවය.

දෝෂාරෝපණ

PA

ඡායාරූප මූලාශ්‍රය, PA

ෆියෝනා ඔනාසන්යා "පීටර්බරා ඡන්දදායකයින් අමාරුවේ දමා ඇතැයි" කම්කරු පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

"ඇය වැරදිකරු වූ වහා ම ඇයට තිබුණා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙන්න," ඔහු පැවසීය.

මේ අතර, කොන්සවේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද ඇය ඉල්ලා අස් විය යුතු බව පවසා තිබේ.