මියගිය පෙම්වතා සමග විවාහවූ කාන්තාව: ගුවන් අනතුරෙන් පෙම්වතා අහිමි වූ කතක් ප්‍රේමය වෙනුවෙන් කළ දේ

INSTAGRAM/INTANSYARIII

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/INTANSYARIII

සිය මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී මුහුදට කඩා වැටුණු Lion Air ගුවන් යානයේ සිට මිය ගිය මගියෙකුගේ පෙම්වතිය තනිව සිය මංගල්‍යය පවත්වා එහි ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ.

ඉන්ටන් ස්‍යාරී (Intan Syari) නමැති එම තරුණිය සහ ගුවන් අනතුරින් මිය ගිය රියෝ නන්ද ප්‍රාටමා (Rio Nanda Pratama) විවාහ වීමට නියමිතව තිබුණේ, නොවැම්බර් 11 වන දාය.

එහෙත්, එම මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී ගුවන් යානය කඩා වැටීමෙන් ඔක්තෝබර් 29 වන දා රියෝ නන්දා ප්‍රාටමා ජීවිතක්ෂයට පත් විය.

ඔහුගේ පෙම්වතිය වූ සයිරී ප්‍රකාශ කළේ, සිය පෙම්වතාගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවය. ඒ අනුව, ඇය සුදු පැහැති ගවුමකින් සැරසී මංගල මුදුව පැළඳ ඡායාරූපවලට පෙනී සිටියාය.

INSTAGRAM/INTANSYARIII

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/INTANSYARIII

තවත් පුවත්:

"විස්තර කරන්න බැරි තරම් දුකක් දැනුණත්, මට ඔබ වෙනුවෙන් හිනා වෙන්න සිදුවී තිබෙනවා," ඇය ඉන්ස්ටග්‍රෑම්හි සටහන් කර තිබිණි.

"ඔබ මට නිතර පවසා ඇති පරිදි ඔබ වගේ ම මම ශක්තිමත්ව සිටිය යුතුයි, මට දුක් වෙන්න බෑ."

ඇය පැවසුවේ, මංගල උත්සවය සඳහා නියමිත වේලාවට පැමිණීමට නොහැකි වුවහොත් ඡායාරූප ගෙන තමන්ට එවන ලෙසට සිය පෙම්වතා ගුවන් යානයට නැගීමට පෙර විහිළුවක් ලෙස කී බවය.

මගීන් 189 දෙනෙකු රැගත් එම ගුවන් යානය ජාකර්තා සිට පංකල් පිනෑං දක්වා පියාසර කරමින් සිටියදී මුහුදට කඩා වැටුණු අතර එහි සිටි කිසිදු පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ නැත.

මීට පෙර සයිරී සිය ඉන්සටග්‍රෑම් පිටුවෙහි සටහන් කර තිබුණේ, සිය පෙම්වතා වසර 13 ක සිට හඳුනන බවත් එය සිය "ප්‍රථම ප්‍රේමය" බවත්ය.

INSTAGRAM/INTANSYARIII

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/INTANSYARIII

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන් දෙදෙනාගේ දැන හැඳිනීම වසර 13කට වඩා පැරණි විය.

තවදුරටත් කියවන්න:

පාසල් වියේ සිට දන්නා හඳුනන ඔවුන් දෙදෙනා සිය මංගල උත්සවය සඳහා ඇඳුම් තෝරාගත් ආකාරය පිළිබඳව ද ගුවන් අනතුර වීමට සති කිහිපයකට පෙර ඇය ඉන්ටග්‍රෑම්හි පළ කර තිබිණි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ ප්‍රාටමා ජාකර්තා වෙත ගොස් තිබුණේ, සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහාය.