ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලයේ විහාරස්ථානය ගැන අභියාචනාධිකරණය දුන් තීන්දුව

 ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ පුවරුව
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ අනවසර ඉදිකිරීමක් යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මතු වී තිබෙන අර්බුදය එම විහාරස්ථානය සඳහා අනුමත සැලැස්මට අනුකූලව විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද (පෙබරවාරි 20 වැනිදා) ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමි ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද (පෙබ: 20) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව කියා සිටියේ ය.

එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

මෙම පෙත්සම ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

'විහාරස්ථානයේ අනුමත සැලැස්මට අනුකූලව කටයුතු කරන්න'

එම අවස්ථාවේදී පෙත්සම්කාර විහාරාධිපති හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විහාරස්ථානයේ ප්‍රශ්නගත ඉදිකිරීම් කොටස එහි අනුමත සැලැස්මට අනුකූලව වෙනස් කර ගැනීමට පෙත්සම්කාර විහාරාධිපති හිමියන් එකඟතාවය පළ කර ඇති බවත් එම එකඟතාවය මත අදාළ ඉදිකිරීම කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගය ඉවත් කර ගැනීමට වග උත්තරකරුවන් ඉකුත් නඩු දිනයේ අධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබූ බවත් පැවසීය.

එහෙත් පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට මෙම සිද්ධියට අදාළ වෙනත් නඩුකරයකට රිමාන්ඞ් භාරයට පත්වීමට සිදු වීම හේතුවෙන් එම කටයුත්ත ඉටු කිරීම ප්‍රමාද වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

එම නිසා මීට පෙර අධිකරණය හමුවේ ඇතිවූ එකඟතාව පරිදි මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ විරෝධය පළ කළේ නොමැත.

එම අවස්ථාවේදී ජනාධිපති නීතීඥ සුසන්ත බාලපටබැඳී යළි අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇතැම් නිලධාරීන් පැමිණ අදාළ විහාරස්ථානයේ පිහිටීමේ වෙනස්වීම් සිදු විය යුතු බවට කරුණු ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කර සිටියේ ය.

ඒත් විනිසුරු මඩුල්ල කරුණු දක්වමින් අදාළ ඉදිකිරීම්වල වෙනස් කිරීමක් සිදු කරන්නේ නම් එය සිදු විය යුත්තේ විහාරස්ථානයේ අනුමත සැලැස්මට අනුකූලව යැයි සඳහන් කළේය.

ඒ අනුව අදාළ කටයුතු ඉටුකර ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට අප්‍රේල් මස 28 වන දා දක්වා කල් ලබාදීමට විනිසුරු මඩුල්ල තීන්දු කර සිටියේ ය.

එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.