ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් ගැන සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
ඒ, 'බුදුදහමට අපහාසයක් කළ බවට' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පසුබිමක සහ බුදුදහමට අපහස කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු පිළිබඳවද විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරතුරයි.
පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවන බවත් ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව මෙම කඩිනම් තීරණය ගෙන ඇත.
අදාල බුද්ධි තොරතුර ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකට අද (මැයි 29 ) උපදෙස් දී ඇත්තේ, පොලිස්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ආගමික සංහිඳියාවට බාධාවන කරුණු සමාජයට පැමිණීමට පෙර ඒවා වළක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන නව පොලිස් ඒකකයට පැවරෙනු ඇත.
සද්ධාරතන හිමි ලබන මස 7 වැනිදා දක්වා රිමාන්ඩ්
ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජාංගනයේ සද්ධාරතන හිමි ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 29 වැනිදා) නියෝග කළේය.
සැකකාර හිමිනම අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර හිමියන් විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කරන ලද වීඩියෝ වලින් ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත් ඇතැම් පුද්ගලයින්ට තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත් සඳහන් කළහ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සැකකාර හිමියන් පිටුපස විශාල පිරිසක් සිටිමින් පෙළඹවිම් සිදුකරන බවට සැකයක් මතු වී තිබෙන අතර විශාල වශයෙන් මුදල් හුවමාරු වීම් සිදුවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
එම නිසා මෙම පරීක්ෂණයට පාදක වී තිබෙන බැංකු ගිණුම් කිහිපයක් පරික්ෂා කර ඒවායේ ගනුදෙනු සිදු වී ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා බැංකු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සැකකාර හිමියන් සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ විමර්ශන කරන බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින හෙයින් සැකකාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාර සද්ධාරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩමහවත්ත අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර ස්වාමීන්වහන්සේ විසින් සිදුකළ ඇතැම් ප්‍රකාශ තමන් ද අනුමත නොකරන බව සඳහන් කළේය.
මෙරට විවිධ උප සංස්කෘතීන් තිබෙන බවත් ඒවා තුළ විවිධ භාෂා රීතීන් පවතින අතර ඇතැම් භාෂා විලාසයන් දරුණු විය හැකි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරයා අමතමින් "බෞද්ධයෙක් නම් ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට තමයි ශාසනය ආරක්ෂා වන්නේ. එක් ප්‍රකාශයකට ප්‍රතිවිරුද්ධව තවත් ප්‍රකාශයක් නිකුත් කිරීමට යාමෙන් අනවශ්‍ය ගැටුම් ඇති වෙන්න පුළුවන්. වෛරය වැඩි වෙන්න පුළුවන්" යනුවෙන් සඳහන් කර සිටියේය.
මෙහිදී විත්තියේ නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායක හිමියන් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කළ බවට හෝ ගැටුම් ඇති කළ බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති නොමැති බවය.
ඒ අනුව සිය සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සියලු කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කලේ සැකකාර හිමියන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවක් තමාට පෙනී නොයන බවය.
කෙසේ වෙතත් සැකකාර හිමියන් ඇප මත මුදා හැරීම තුළින් කැළඹීමක් සහ ජාතීන් අතර ගැටීමක් ඇති විය හැකි බවට කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි බැංකු ගිණුම් කිහිපයක් පරික්ෂා කිරීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමි කව්ද?
සමාජ මාධ්‍ය හරහා කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියන් ප්‍රසිද්ධියට පත්විය.
උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රීමත් පින්සිරි ප්‍රනාන්දු ආශ්‍රමයේදී බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල සේවය වෙත තහවුරු කරන ලදී.
දේශපාලන, ආගමික සහ රටේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කිරීම හේතුවෙන් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියන් පිළිබඳ සමාජයේ දැඩි කතාබහ ආරම්භ වුයේ මිට වසර කිහිපයක සිටයි.
"මට කිසිම භේදයක් නැහැ"
සමාජ මාධ්‍ය ඔස්සේ තමන් වහන්සේ විසින් කරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳ මීට වසරකට පමණ පෙර අදහස් දක්වමින් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියන් ප්‍රකාශ කර සිටියේ තමන්ට කිසිදු දේශපාලන, ජාති හෝ ආගම් භේදයක් නොමැති බවයි.
"මට කිසිම දේශපාලන පක්ෂයක, ආගම් භේදයක් හෝ ජාති භේදයක් නැහැ. මම හැමෝටම උදව් කරනවා. කාගෙන්වත් සත පහක මුදලක් වංචා කරලා නැහැ. මට දැන් මඩ ගහන්න පටන් අරන් තියෙනවා. මම කතා කරන්නේ ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නෙමෙයි, මම කතා කරන්නේ හදවතින්. මගේ රටට, ජාතියට, ආගමට, රටේ ජනතාවට ඇති ආදරය නිසයි."උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර තිබිණ.
‘උන්වහන්සේට විරුද්ධව පැමිණිලි කළේ මේ හේතු නිසයි’
පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමි අත්අඩංගුවට ගනු ලැබුවේ උන්වහන්සේ කළ ප්‍රකාශ පිලිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් වහන්සේ කළ පැමිණිල්ලක් මත බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
"කරුණු කිහිපයක් මුල් කරගෙන තමයි මම උන්වහන්සේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට."
"පළමු පැමිණිල්ල තමයි උන්වහන්සේ මේ ශාසනයට, සිවුරට, සිවුරේ ප්‍රතිපත්තිවලට, විනයට සහ සාංඝික ප්‍රතිපත්තිවලට සම්පුර්ණ පරිභාහිරව බෞද්ධ ජනයාගේ පමණක් නොවෙයි අබෞද්ධ ජනතාවගේ පවා අප්‍රසාදයට ලක්වන විදිහේ ප්‍රකාශ නිකුත් කරමින් ඉතාමත් අසභ්‍ය වචන භාවිත කරමින් උන්වහන්සේ කටයුතු සිද්ධ කරමින් සිටියා."
"උන්වහන්සේට ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව හරහා අපි නිවැරදි කරන්න උත්සහ කළා. ඒ උත්සහයන් ආසාර්ථක වුනා. මේක එක හේතුවක් වුණා උන්වහන්සේට විරුද්ධව පැමිණිලි කරන්න."
"දෙවැනි කරුණ තමයි උන්වහන්සේගේ ප්‍රකාශ ඇතුලේ ෂරියා නීතිය, මුස්ලිම් ලබ්ධින්, ඒවා බෞද්ධ ආගමට එකතු කරලා, බෙලි කපන්න ඕන, ඔලු කපන්න ඕන, මරන්න ඕන වැනි ප්‍රකාශ නිකුත් කරලා තියනවා."
"ආගමික සංහිඳියාවට එරෙහිව හානිවන ප්‍රකාශ ගණනාවක් උන්වහන්සේ කරලා තියෙනවා. අපි ඒ නිසාත් උන්වහන්සේට විරුද්ධව පැමිණිලි සිද්ධ කරන්න හේතු වුණා."
"අනෙක් කරුණ තමයි උන්වහන්සේගේ ප්‍රකාශයන් ඇතුලේ ළමයි මරන්න ඕන, කාන්තා හිංසනය ඒ වගේම පුජනීය ස්වාමින්වහන්සේලා වගේම ආගමික නායකයින්ට, රාජ්‍ය නායකයින්ට වගේම විවිධ පාර්ශවවලට ඉතා කැත, අසභ්‍ය, නොහොබිනා පහත් ආකාරයේ ප්‍රකාශ උන්වහන්සේගේ ඔය කියන යූ ටියුබ් චැනල් එක හරහා නිකුත් කළා."
"ඒවා බලන් හිටපු පුංචි දරුවන් පවා ඉතාම කලකිරීමට පත්වුනා. එය ශාසනික භික්ෂුන් වහන්සේලා කෙරෙහි වෛරී සහගත තත්ත්වයක් සමාජයේ නිර්මාණය වුණා. බොහෝ දෙනෙක් ඇහුව දෙයක් තමයි ශාසන බලධාරී ස්වාමින්වහන්සේලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්තේ ඇයි කියලා."
"අපි ශාසනික බලධාරී ස්වාමින්වහන්සේලාට මේ ගැන දැනුවත් කළත් එහි ප්‍රතිඵලයක් නොවුවත්, පසුව අපි විසින් උන්වහන්සේගේ ක්‍රියාකලාපය ගැන ප්‍රසිද්ධියේ විවේචන කළා. නමුත් එතැනින් පවා උන්වහන්සේ නිවැරදි වුනේ නැති නිසා අපිට නීතියට හමුවට යන්න සිද්ධ වුණා." යනුවෙන් පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කළහ.












