නතාෂා එදිරිසූරිය:‘ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද?’

 නාතාෂා එදිරිසූරිය

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

නතාෂාට මහාධිකරණයෙන් ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (ජූලි 5 වැනිදා ) නියෝග කළේය.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් නියෝගය නිකුත් කරනු ලැබීය.

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවති "මෝඩාභිමානය" නැමැති වැඩ සටහනකදී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත් ඇය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව සඳහන් කළේය.

ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් බවත් ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදු දහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

"ස්වාමීනී.. මෙම තැනැත්තිය

"මෝඩාභිමානය" වැඩ සටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා"යනුවෙන් සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණයට කිසියම් ලේඛණයක් ද ඉදිරිපත් කළේය.

යූටියුබ් වීඩියෝ වලින් අදායම් ඉපයීම නීතිවීරෝධී යැයි නීතියක් තිබේද?

ලේඛනය පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා" ඕනම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවන්. ඒ තුළින් උපයාගන්නා ආදායම නීතිවිරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද? " යනුවෙන් විනිසුරුවරයා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ එසේ මුදල් උපයා ගැනීම නීති විරෝධී නොවන බවය.

මෙම පුද්ගලයින් ද්වේශ සහගත තොරතුරු ඇතුළත් වීඩියෝ යූ ටියුබ් නාලිකාව මුදා හැර මුදල් උපයා ගන්නා බව සඳහන් කිරීම සඳහා තමා මෙම ලේඛනය ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

‘ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද?’

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඇමතූ විනිසුරුවරයා " මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? යම් යම් ප්‍රකාශ වලින් විවිධ පුද්ගලයින්ගේ හා ජන කණ්ඩායම් වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුලත් කරන්න බැහැ. " යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා බුදුරජාණන් වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනාකර ඇති බවත් සඳහන් කර සිටියේය.

අනතුරුව විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ "එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා විසින්. එසේ ඉදිරිපත් කරමින් එම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් කිරීම සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත තුළ අන්තර්ගත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගෙන නොමැති අයිතිවාසිකම් මෙරට තුළ තහවුරු කිරීම සඳහා තමයි අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකය සම්මත කළේ. ඉතින් ඒ පනත් කෙටුම්පතේ 3 (1) වගන්තියේ සඳහන් වෙනවා "වෛරී ප්‍රකාශ" පිළිබඳව. මේ වෛරය ප්‍රකාශය මොනවාද? යන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ වෛරී ප්‍රකාශ පිළිබඳ වැඩ සටහනේ සඳහන් වෙනවා. එක්සත් ජාතීන්ගේ නිර්ණායකයට අනුව වෛරී ප්‍රකාශ වර්ග තුනක් තිබෙනවා. සමූල ඝාතන පිළිබඳ වෛරී ප්‍රකාශ, මධ්‍යම මට්ටමේ වෛරය ප්‍රකාශ සහ හුදු නඩු පැවරීම් වලට හේතු වන වෛරී ප්‍රකාශ. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් "වෛරී ප්‍රකාශ" යන්න අර්ථකථනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක සමඟයි. එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් "වෛරී ප්‍රකාශ" යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මෙරටට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම. ඊට පටහැනිව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළහොත් ව්‍යවස්ථාදායකයේ අරමුණු බිඳ වැටෙන්න පුළුවන්" යනුවෙන් විනිසුරුවරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව දැනටමත් තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක් සිටින රටක් බවය.

මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක්ද මතු වීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතන වලට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් සැකකාරියක් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියේය.

බෲනෝට ඇප

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි SL Vlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමටත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (ජුනි 21වැනිදා) නියෝග කළේය.

ඒ අනුව බෲනෝ දිවාකර රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 02ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර සිටියේය.

එහිදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරිය ජුලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය

ඇප දෙන ලෙසට ඉල්ලීමක්...

සැකකාර නටාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න (ජුනි 7වැනිදා) අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මාගේ සේවාදායිකාව කළ ප්‍රකාශයක් නිසා බෞද්ධයින් කලබලයට පත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙවැනි සිද්ධීන් වලින් බෞද්ධයින් කවදාවත් කලබලයට පත් වෙන්නේ නෑ. මෙවැනි ප්‍රකාශ නිසා බෞද්ධයින් කවදාවත් වෛරය පතුරු වන්නෙත් නෑ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුණ තමයි බෞද්ධයාගේ මූලික පදනම. ඒ නිසා මාගේ සේවාදායිකාවගේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගන්න බැහැ.”

ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ, “මෙම ප්‍රකාශය අප්‍රේල් මස පළමු වැනිදා "මෝඩාභිමානය" නැමැති වැඩසටහනක දී සිදුකරන ලද්දක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කරමින් සඳහන් කර තිබෙනවා තමන් වහන්සේ කියන දෙයක් පවා එකවරම පිළිගන්න එපා කියලා. හොඳට හොයලා බලලා පිළිගන්න කියලයි උන්වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. මේ සැකකාරිය සිදු කළ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේට හෝ බෞද්ධ දර්ශනයට අපහාසයක් සිදුවී නෑ. එම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීමක් ඇති වෙලත් නෑ. ඒ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යන්න බැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න තම සේවාදායිකාව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

සැකකාර බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත 3(1) වගන්තිය යටතේ මාගේ සේවාදායකයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා. 3 (1) වගන්තිය යටතේ යුද්ධය පැතිරවීම, ප්‍රචණ්ඩ ක්‍රියා වලට පෙළඹීම් සිදුකිරීම, ජාතීන් හා ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට අනුබල දීම වැනි කටයුතු ඇතුළත් වෙනවා. එහෙත් මෙම ප්‍රකාශය අන්තර්ජාලයට උඩුගත කරා කියලා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් උද්වෙගත වෙලා නෑ. යුද්ධය පැතිරවීමක් සිදුවෙලාත් නැහැ. එසේ නම් මාගේ සේවාදායකයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අත්අඩංගුවට ගන්නේ කොහොමද?”ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

“බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී "චිංචිමානවිකාව" පැමිණ උන් වහන්සේට අපහාස කළා. මෙම සිද්ධියට පාදක වන ප්‍රකාශයට වඩා දරුණු අපහාසයක් තමයි එදා සිදු වුණේ. එම අපහසයට එරෙහිව බුදුරජාණන් වහන්සේ කැළඹුණේ නැහැ. පැමිණිලි කළෙත් නැහැ. ඇක්ෂන් ගන්න කියලා උන් වහන්සේ එදා ආණ්ඩුවට කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍යය ජයගන්නා බව දැන සිටියා. ඒ නිසා එවැනි පියවරවල් වලට උන්වහන්සේ ගමන් කළේ නැහැ. බෞද්ධයින් තුළ තාදි ගුණය තිබිය යුතුයි. නොසැලෙන ගුණය තිබිය යුතුයි. නියම බෞද්ධයා අටලෝ දහමින් සැලෙන්නේ නැහැ. මෙම නඩුවට පාදක වන ප්‍රකාශයේ බරපතළ භාවය වටහා ගෙන මාගේ සේවාදායකයා පසුව එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන තිබෙනවා. සමාව ඉල්ලීමක් කර තිබෙනවා. එසේනම් මේ ආකාරයෙන් පියවර ගන්නේ ඇයි? නියම බෞද්ධයින් මේවා ක්‍රියා කරන්නේ නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

“හැමෝම රහත් වෙලා නැහැ”

මෙහිදී පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් සම්බන්ධයෙන් මත පළ කරන්න පුළුවන්. ඒත් අපහාස කරන්න බැහැ. මෙම සැකකාරියගේ ප්‍රකාශයෙන් බුදුදහමට දැඩි අපහාසයක් සිදුවී තිබෙනවා. බුදු දහම කියන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සුරක්ෂිත කොට පෝෂණය කර තිබෙන ධර්මයක්. ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධ බව ඇත්ත. ඒත් ඒ හැමෝම රහත් වෙලා නැහැ. මෙම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීම් ඇති වෙන්න පුළුවන්. මිනීමැරීම් වැනි අනතුරු පවා ඇතිවීමට හැකියාව තිබෙනවා"යනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ පැවසීය.

සිංහල රාවය සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇතැම් පුද්ගලයින් මාධ්‍ය සංදර්ශන පවත්වා ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට බලපෑමක් කර ඇති බව අවධාරණය කළේය.

" ස්වාමීනී.. මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විදර්ශන කන්නන්ගර, තරිඳු ජයවර්ධන, ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. මේක කෙලින්ම අධිකරණයට කරපු බලපෑමක්. අධිකරණයේ ස්වාධීනත්වයට කරපු අපහාසයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතුයි" යනුවෙන් ඉල්ලීමක් කළ එම නීතිඥවරයා අදාළ ප්‍රකාශ අඩංගු වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට (ජුනි 7වැනිදා) නියෝග කරනු ලැබීය.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම් වලට අදාල ලිඛිත දේශන සහ ඊට අදාළ විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය (ජුනි 21 වැනිදා) වැනිදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළේය.

ICCPR පනතට යටතේ විමර්ශන

ඒ අනුව මෙම සැකකරු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ මීට ප අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතු මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකරු ආධාර අනුබල දීමක් කළ බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් වී තිබේ දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාවට එම ප්‍රකාශය කිරීම සඳහා පහසුකම් සැලසීම, මහජනතාව රැස්කිරීම, වේදිකාව තනා දීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

අදාල අපහාසාත්මක ප්‍රකාශ අඩංගු වීඩියෝ පටය මෙම සැකකරුට අයත් කලම්බු කොමඩි සෙන්ට්‍රල් නැමැති youtube නාලිකාවේ පළකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ අපහාසාත්මක ප්‍රකාශය කිරීමට සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි බව පැවසීය.

යම්කිසි ප්‍රකාශයක් අන්තර්ජාලයට යොමු කළ පමණින් ඔහු අපරාධයකට ආධාර අනුබල දීමක් කළ බවට චෝදනා නගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ නීතිඥ වේරගොඩ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ තම සේවාදායකයාට එල්ල කර තිබෙන චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවත් තර්ක කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ සඳහන් කර තිබෙන්නේ රජය අපහසුතාවට පත් කිරීමේ චෝදනාව යැයි සඳහන් කළ නීතිඥ වේරගොඩ, මෙම නඩුවට පාදක වන ප්‍රකාශය තුළින් රජය අපහසුතාවයකට පත් වීමක් නොවන බවත් එය පදනම් විරහිත බවත් සඳහන් කර සිටියේය.

එමෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(2) වගන්තිය ප්‍රකාරව යම් වරදකට ආධාර අනුබලදීම නැමැති චෝදනාව ඉදිරිපත් කළ නොහැකි බවත් තම සේවාදායකයා ඇපමත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරයා අමතමින් "ඕනෑම ප්‍රකාශයක් අන්තර්ජාලයට උඩුගත කරන්න පුළුවන්. නමුත් උඩුගත කරන ප්‍රකාශයකින් ප්‍රශ්නයක් මතුවන බව කලින් පෙනෙන්නට තිබෙනවා නම් ඒවා නොකර හිටියාම ඉවරයි." යනුවෙන් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර බෲනෝ දිවාකර (ජුනි 7 වැනිදා) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කර සිටියේය.

CID අත්අඩංගුවට

‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය.

බෲනෝ දිවාකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත (මැයි 31වැනිදා) පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Bruno Diwakara

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK|Bruno Diwakara

ඡායාරූප ශීර්ෂ වැකිය, ‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන් බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

පැය 08 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

‘ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි’

මේ අතර ප්‍රහසන ශිල්පී නතාෂා එදිරිසුරිගේ ඉදිරිපත් කිරීම ඇතුලත් වීඩියෝ පටය මුදාහරින ලද SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර මීට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ යම් ප්‍රකාශයක් කර ඇති නම් එහි වගකීම භාර ගත යුත්තේ එය සිදුකළ පුද්ගලය බවය.

"එය පළකිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. එහි කාලය සම්බන්ධයෙන් ලොකු අත්වැරදීමක් සිද්ධ වුනා. ඒ සම්බන්ධයෙන් අවංකවම අපි කණගාටුව පළ කරලා වීඩියෝවක් දැම්මේ ඒ නිසයි. එය අතිශයින්ම වැරදි තීන්දුවක්."

"මෙහෙමයි, මම මෙතන ප්‍රෙස් එකක් තියලා ඔයා කොහේ හරි එකක දැම්මාම ඒ කරන ප්‍රකාශයේ වගකීම තියෙන්නේ මගේ නේ. ඒ ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි. මම ප්ලැට්ෆෝම් එකක් විදිහට ඒ කන්ටෙන්ට් බ්‍රෝඩ්කාස්ට් කරනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපේ එක ඇතුලේ ඕනෑම එකක් කරන්න ඉඩ තියෙනවා කියලා. එතකොට කන්ටෙන්ට් එකේ වගකීම පැහැදිලිවම තියෙන්නේ මොකක් හරි ප්‍රකාශයක් කරනවා නම් එය කරන කෙනා සතුවයි." ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය.

නතාෂා එදිරිසූරිය වහා නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියයි

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය වහාම නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.

ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම සංවිධානයේ අවධානය යොමුවී ඇති බවය.

ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය යනු, ගැඹුරු අහිතකර ප්‍රකාශ ඇතුළුව සියලු වර්ගවල තොරතුරු සහ අදහස් ඊට අදාළ වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කිරීමට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් සියලුම නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් සුළු ජාතීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අසාධාරණ ලෙස සීමා කිරීම්වලට තුඩු නොදෙන පරිදි, කෙටුම්පත් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහතික විය යුතු බවද එම සංවිධානය අවධාරණය කළේය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ, ‘දේශීය නීති පද්ධතියට ICCPR හඳුන්වා දීමේදී ICCPR පනතේ 3(1) වගන්තිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට වරින් වර භාවිතා කර’ ඇති බවය.

වෙනස් කොට සැලකීම, ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකම උසිගැන්වීමක් ලෙස වෛරී ප්‍රකාශ එමගින් තහනම් කරයි.

වෛරී ප්‍රකාශ යනු කිසියම් කණ්ඩායමක සාමාජිකයන් කෙරෙහි ද්වේශ සහගත අදහස් හෝ අදහස් ප්‍රකාශ කිරීමට වඩා වැඩි යමක් වන අතර, එයට අදාළ කණ්ඩායමට එරෙහිව වෙනස් කොට සැලකීම, සතුරු වීම හෝ ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමට අන් අයව පොළඹවාලීමේ චේතනාව පෙන්වීම පැහැදිලිව අවශ්‍ය බව බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

භාෂණයේ අයිතිය මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපොහොසත් වීමේදී , එය කම්පන සහගත, ප්‍රහාරාත්මක හෝ බාධාකාරී වියහැකි වුවද, රාජ්‍යය විසින් එය ආරක්ෂා කළ යුතු බවද ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.

මානව හිමිකම් ගිවිසුම අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පිළිපැදීමට බැඳී සිටින නීතිමය බැඳීම් දේශීය නීති සම්පාදනයට හඳුන්වා දීම සඳහා ICCPR පනත බලාත්මක කෙරිණි.

‘හාස්‍යයට කරුණ නම්, ශ්‍රී ලංකා බලධාරීන් එය සුළු ජාතීන් ඉලක්ක කර ගැනීමේ මර්දන මෙවලමක් ලෙස යොදා ගැනීමයි. මෙය අවසන් කළ යුතුය.’

නතාෂා එදිරිසූරිය නිදහස් කළ යුතු අතර ඇයට එරෙහිව පවතින චෝදනා වහා ඉවත් කළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කළේය.

නතාෂා එදිරිසූරිය ජුනි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි

'බුදුදහමට අපහාසයක් කළ බවට' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (මැයි 28) නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ නාතාෂා එදිරිසුරියට එරෙහිව ICCPR පනත යටතේ චෝදනා ගොනු කොට ඇති බවයි.

එමෙන්ම ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 08ක් ලැබී ඇති බවත් ඊට අමතරව මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ද පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

ඇය (මැයි 28 වැනිදා) අළුයම සිංගප්පුරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී රැඳී සිටියදී අත්අඩංගුවට ගැනිණි.

මෙම ශිල්පිනිය අත්අඩංගුවට ගැනුණේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ද මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් CID විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරවාරයේදීය.

එම ප්‍රකාශයෙන් අනතුරුව එම දේවගැතිවරයා ද සිංගප්පුරුව වෙත ගොස් තිබූ අතර ඔහු විදෙස්ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබුණි.

ඔහු යලි දිවයිනට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණ ද මේ දක්වා ඔහු දිවයිනට පැමිණ නැත.

නාතාෂා එදිරිසුරියට එරෙහි චෝදනාව කුමක් ද ?

ප්‍රහසන ශිල්පිනියක් ලෙස කටයුතු කරන නාතාෂා එදිරිසුරිය විසින් කොළඹ දී පසුගියදා පැවැත්වූ ප්‍රහසන වැඩ සටහනකදී කළ ඉදිරිපත් කිරීමක් මීට දින කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන, ඇගයීම් මෙන්ම ආගමික හා පුජ්‍ය පක්ෂවලින් සැලකිය යුතු විරෝධතාවන්ද එල්ල වෙමින් තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ආගමික අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් 'ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ' බවයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවය වෙත තහවුරු කරන ලදී.

සමාව ගැනීම සහ වීඩියෝව ඉවත් කිරීම

තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාතාෂා එදිරිසූරිය සමාව ඉල්ලා සිටියේය. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින්ය.

"කිසියම් කණ්ඩායමකගේ හෝ පුද්ගලයෙකුගේ හිත රිදීමක් සිදුවූවා නම් බොහොම නිහතමානීව සමාව ඉල්ලනවා. මගේ යුටියුබ් චැනල් එකෙනුත් වීඩියෝව අයින් කරලා තියෙන්නේ." ඇය එහිදී ප්‍රකාශ කර සිටියාය.

දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම්

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම් : පිටුව 01
දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම් : පිටු 02

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම් : පිටුව 02

දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම්

මෑත කාලයේ සිට බුදු දහමට අපහාස කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත්, සිංහල බෞද්ධ රටක් ලෙස හඳුන්වන බහුතර බෞද්ධ ජනතාවක් ජීවත්වන මේ රටේ 'මෑතක සිට සහජීවනය නමින් ඉදිරියට පැමිණෙමින් බුදු දහමට සහ භික්ෂුන්වහන්සේලාට අපහාස කිරීම ආරම්භ කොට ඇති බවත්' පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පුජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

'මෙලෙස බුදුදහමට අපහාස කරන්නන්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ ඊට විරෝධයක් පැමිණියහොත් ඒ තුළින් සමාව ගැනීමට ද එය වැරදීමකින් සිදුවුණ සිදුවීමක් ලෙස සමාව ඇයද සිටිමින් මේ සියල්ල යටගැසීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙමින් පවතින බව' ද නාහිමියන් පවසයි.

නතාෂා එදිරිසුරිය අදාළ ප්‍රහසන වැඩසහන අතරතුර කළ ඉදිරිපත් කිරීම උපුටා දක්වමින් පුජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් විසින් පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇත්තේ ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ ගතහැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම 'ඇය කඩිනමින් අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇයට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදී බුදුදහමට කරනු ලබන අපහාසයන් නැවැත්වීමට කටයුතු කරන ලෙස' ද පොලිස්පතිවරයා වෙත යොමු කළ එම ලිපියෙන් උන්වහන්සේ ඉල්ලා ඇත.

'ආගමික වෛරය පැතිරවීමක් එම ප්‍රකාශ තුළ නැහැ'

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පෙන්වා දෙන්නේ තම නිරීක්ෂණයට අනුව නතාෂාගේ ස්ටෑන්ඩප් කොමඩි වීඩියෝවේ අන්තර්ගතය තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ වරදක් ලෙස ගැනෙන ප්‍රකාශයක් ඇතුළත් නොවන බවය. ඔහු ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ, ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමක් එම ප්‍රකාශ තුළ අන්තර්ගත නොවන බවය.

“බෞද්ධ සාහිත්‍යයේ සදහන් වන සිදුවීමක් නතාෂා හාස්‍යට ලක් කරයි. එකී හාස්‍යයට එරෙහි වන ඇතැම් අය නතාෂා කෙරෙහි පතුරවන වෛරය නතාෂාගේ ප්‍රකාශයට වඩා බරපතල බවක්” පෙනී යන්නේ යැයිද ජයන්ත දෙහිඅත්තගේ ෆෙස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබේ.

“බුදුන්වහන්සේට අපහාස උපහාස කළ කිසිවකු හට රාජ නීතිය ක්‍රියාත්මක කළ බවක් මා අසා නැත. ඔවුන් සම්බන්ධයෙන් ද්වේශයෙන් කටයුතු කළ බවක්ද මා අසා නැත.” ඔහු වැඩිදුරටත් එහි සඳහන් කොට ඇත.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී අප වෙත අදහස් දක්වමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ කියා සිටියේ; “බහු ආගමික රටක, අපේ රටේ විතරක් නෙමේ, කොයි රටෙත් එහෙමයි, ආගමික සහ විශ්වාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තර්ක බුද්ධියට වඩා ඒගොල්ලන්ගේ විශ්වාස මත එළඹගෙන තමා ඉන්නේ, කෙනෙක්ගේ ආගමික විශ්වාසයක් හරි ආගමික ඇදහිල්ලක් හරි අපිට තර්ක කරලා ඒක හරිද වැරදිද කියලා ඔප්පු කරන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. ලංකාවට අදාළවත් ඒක එහෙමයි. ඕනෑම කෙනෙකුට කැමති ආගමක්, කැමති ඇදහිල්ලක්, කැමති විශ්වාසයක් දරන්න පුළුවන් කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාවෙන් අපි පිළිඅරගෙන තියෙනවා. එහෙම තියෙද්දි අපි පුද්ගලයෝ විදිහට කටයුතු කරද්දි හැමෝටම වගකීමක් තියෙනවා අනිත් අයගේ ආගමික විශ්වාස සහ ඇදහිලි; ඒවා බැළු බැල්මට සත්‍ය නොවන බවට පේන්න පුළුවන්. එහෙම වුනත් ඒවා ගැන කතා කරද්දි ඒ ඇදහිල්ල හරි ආගම හරි දරන අයගේ විශ්වාස වලට හැඟීම්වලට වෙන්න පුලුවන් බලපෑම ගැනත් අවබෝධයෙන් තමා අපි කටයුතු කරන්න ඕනේ. අපි පුද්ගලයෝ විදිහට අපිට තියෙන වගකීමක්. හැබැයි මම කියන්නේ යම් කෙනෙක් කරන එහෙම ප්‍රකාශ පදනම් කරගෙන ඒවගෙන් කිසිම වෛරය, ප්‍රචණ්ඩත්වය පැතිරීමක් වෙන්නේ නැතිනම්, ඒ අයව අත්අඩංගුවට අරගෙන, රිමාන්ඩ් බන්ධනාගාරගත කරන එක හරි, හිරේ දාන එක හරි සම්බන්ධයෙන් මගේ එකඟතාවක් නැහැ. නමුත් අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා ඒ ආගමික හැඟීම් තේරුම් අරගෙන කටයුතු කරන්න.” යනුවෙනි.

'නතාෂාට එරෙහිව ICCPR එපා' - තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පොලිස්පතිට ලිපියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුත පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ.

මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය මෙම පනත භාවිත කළේ පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමා කිරීමට බව සිදුවීම් කිහිපයකදීම පැහැදිලි වී ඇති බව පවසන ඔවුහු, මෙම සම්මුතියේ 20 වැනි වගන්තියේ සඳහන් වන කරුණු සලකා බැලිය යුත්තේ එම සම්මුතියේ 19 වැනි වගන්තියේ සඳහන් වන අදහස් ප්‍රකාශය කිරීමේ නිදහස සමඟ බව වැඩි දුරටත් එහි සඳහන් කොට තිබේ.