ආගමික ශාස්තෘවරුන්ට නිගරු කළ බවට චෝදනා නැගෙන ජෙරම් ප්‍රනාන්දු ගැන රජයේ ප්‍රතිචාරය කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ආගමික ශාස්තෘවරුන්ට නිගරු කළ බවට චෝදනා ලැබූ ජෙරම් ප්‍රනාන්දු ගැන රජයේ ප්‍රතිචාරය කුමක් ද?

දේශනයක් අතරතුර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පළකළ අදහස් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වී තිබේ.

සිය දේශනයේ දී බුදුරජාණන් වහන්සේට, ජේසුස් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට අපහාසයක් වන පරිදි වෛරී ප්‍රකාශන සිදු කර ඇති බවට පාර්ශව රැසක් චෝදනා කරති.

ඒ ගැන විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා භික්ෂුන් වහන්සේ සහ සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි ඉදිරිපත් කර ඇත.

අදාළ ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන අතර එය ආගමික සංහිඳියාවට බාධාවක් මෙන්ම ඔහු කතෝලික සභාවට සම්බන්ධ අයෙක් නොවන බව කාදිනල් හිමියන්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ද පැවසුවේය.

''අමාත්‍යාංශය හැටියට මේ වනවිට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ'' යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක BBC සිංහල සේවයට කියා සිටියේය.

නැගෙන චෝදනා ගැන විමසීමට ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධ කර ගැනීමට BBC සිංහල සේවය උත්සහ කළ අවස්ථාවේදී දැන ගන්නට ලැබුණේ ඔහු විදේශගත වී සිටින අතර මේ අවස්ථාවේ සම්බන්ධ කරගත නොහැකි බවයි.