ඉස්ලාම් දහමට "අපහාසයක්": හින්දු පශු වෛද්‍යවරයාට නඩු

The vet's clinic is set alight in Mirpur Khas
ඡායාරූප ශීර්ෂ වැකිය, පශු වෛද්‍යවරයාට අයත් සායන ගොඩනැගිල්ල

ඉස්ලාමීය ආගමික වදන් සහිත කඩදාසියක ඔතා ඖෂධ අලෙවි කළ බව පැවසෙන පාකිස්තානයේ හින්දු භක්තික පශු වෛද්‍යවරයෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

අදාළ පශු වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ඉස්ලාම් දහමට නින්දා කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ පවතින දැඩි නීති යටතේය.

සින්ද් පළාතේ මනිපූර් ඛාස් ආසන්නයේ පිහිටි ඔහුගේ සායන ගොඩනැගිල්ල ගිනිබත් කර ඇති අතර හින්දු භක්තිකයන්ට අයත් වෙළෙඳසල් කොල්ලකෑමට ලක්ව තිබේ.

ඖෂධ එතීම සඳහා ඉස්ලාමීය අධ්‍යයන පිළිබඳ පාසල් පෙළ පොතක පිටු යොදා ගනු ලැබුවේ අත්වැරදීමකින් යැයි පශු වෛද්‍යවරයා පවසයි.

අදාළ චෝදනාවලට වරදකරු වුවහොත් ඔහු ජීවිතාන්තය දක්වා සිර ගත කිරීමේ හැකියාවක් පවතී.

පාකිස්තානය තුළ ඉස්ලාම් දහමට අවමන් කරන ඕනෑම අයෙකුට දැඩි දඩුවම් හිමිවන පරිදි නීති සම්පාදනය කර ඇත. එමගින් සාපේක්ෂව විශාල වශයෙන් එරට ආගමික සුළුතරය ඉලක්කයට ලක් වන බව විවේචකයෝ පවසති.

පශු වෛද්‍යවරයා විසින් ලබා දෙන ලද ඖෂධ දවටනය මත ඉස්ලාමීය ආගමික කරුණු අඩංගුව ඇති බව ඖෂධ මිලදී ගත් පාරිභෝගිකයාගේ අවධානයට ලක්ව ඇති අතර ඒ බව ප්‍රදේශයේ ඉස්ලාමීය පූජකයෙකුට දන්වා තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවය.

Buildings looted in Mirpur Khas
ඡායාරූප ශීර්ෂ වැකිය, හින්දු භක්තිකයන්ට අයත් වෙළඳසල් කොල්ලකෑමට ලක් වූ බව ඇසින් දුටුවෝ පවසති

ආගමික පසුබිමක් සහිත දේශපාලන පක්ෂයක් වන ජමියත් උලෙමා එ ඉස්ලාමි (amiat Ulema-e-Islami) පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු වන මවුලානා හෆීස් උර් රෙහෙමාන් බීබීසී උර්දු සේවය වෙත කියා සිටියේ පශු වෛද්‍යවරයා "සිතාමතාම"ඉස්ලාමීය කරුණු අඩංගු දවටනයක් යොදා ගෙන ඇති බවය.

නමුත් පොලිසිය සඳහන් කරන පරිදි එය අත්වැරැද්දක් බව පශු වෛද්‍යවරයා දිගින් දිගටම පවසා තිබේ.

ඒ අනුව ඔහුට එරෙහිව ආගමික විශ්වාසයන්ට අවමන් කිරීම, කුරානය කෙළසීම යන චෝදනා යටතේ නඩු පවරා ඇත.

පශු වෛද්‍යවරයාගේ සායනය සහ ඖෂධ වෙළඳසල ඇතුළු ගොඩනැගිලි හතරක් කොල්ල කා අලාභහානි කර ගිනි තබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු වාර්තා කළහ.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ඇති බව මනිපූර් ඛාස් හි පොලිස් නිලධාරියෙකු වන ජාවෙඩ් ඉක්බාල් බීබීසී වෙත පැවසීය. "ඔවුන් ඉස්ලාම් දහමටවත් අසල්වැසියන්ටවත් ලැදි පුද්ගලයන් නොවෙයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Hardline protesters hold banners demanding death for blasphemers in Karachi, Pakistan (12 Oct 2018)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ආගමට අවමන් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ පවතින දැඩි නීති සඳහා මහජනතාව විශාල වශයෙන් සහයෝගය දක්වති

ඉස්ලාම් දහම පාකිස්තානයේ ජාතික ආගම වන අතර ආගමට අවමන් කිරීම සම්බන්ධයෙන් එරට පවතින දැඩි නීති සඳහා මහජනතාව විශාල වශයෙන් සහයෝගය දක්වති.

සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමේ උත්සාහයක කොටසක් වශයෙන් දැඩි මතධාරී දේශපාලනඥයන් ද ඒ සම්බන්ධයෙන් ලබා දෙන දඬුවම්වලට බොහෝ විට සහාය දක්වන බව වාර්තාකරුවෝ පවසති.

පසුගිය දශක කිහිපය තුළ පාකිස්තාන ජාතිකයන් සිය ගණනකට එරෙහිව ආගමට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබ ඇත. ඇතැම් නඩු විභාග ජාත්‍යන්තර අවධානයට ලක් විය.

සිය අසල්වැසියන් සමග ඇතිවූ වචන හුවමාරුවකදී මොහම්මද් නබිතුමාට අපහස කළ බවට චෝදනා ලත් පාකිස්තාන ජාතික කිතුනු බැතිමතියක වන ආසියා බීබී නමැති කාන්තාවට 2010 වසරේදී මරණ දණ්ඩනය හිමි විය.

2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇය නිදොස් කර නිදහස් කරන ලද අතර එතෙක් ඇය සිර අඩස්සියේ පසු විය. පසුව ඇය රටෙන් පිටවිය.