උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""

නොවැම්බර් 29 වෙනිදා උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීය

ඡායාරූප මූලාශ්‍රය, AFP/KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 29 වෙනිදා උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීය

පසුගිය සතියේ උතුරු කොරියාව අත්හදා බලන ලද මිසයිලය යැයි සැකකළ හැකි දර්ශනයක්, ජපානයට ඉහළ අහසේ පියාසර කරමින් තිබු තම ගුවන්යානයක කාර්ය මණ්ඩලය දැක ඇති බව කැතේ පැසිෆික් ගුවන් සමාගම ප්‍රකාශ කරයි. එම යානය ඇමරිකාවේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර දක්වා පියාසර කරමින් තිබිණි.

මිසයිලය වායුගෝලයට "නැවත ඇතුළුවීම යැයි සැක කළහැකි" දර්ශනයක් තම කාර්ය මණ්ඩලය දැක ඇතිබව ගුවන් සමාගම බීබීසී සේවයට තහවුරු කළේය.

"CX893 යානයේ කාර්ය මණ්ඩලය,'දැනුවත් කිරීමයි, උතුරු කොරියානු මිසයිලයක් පුපුරා කැබළිවලට කැඩී අප දැන් සිටින ස්ථානයට නුදුරින් වැටුනා'යි අද වාර්තා කළා" යනුවෙන් කැතේ පැසිෆික් මෙහෙයුම් සාමාන්‍යාධිකාරී මාක් හෝයි (Mark Hoey) තම කාර්ය මණ්ඩලයට යැවූ පණිවිඩයකින් කියවුණු බව දකුණු චීන මොර්නිං පෝස්ට් (South China Morning Post) පුවත්පත වාර්තා කර ඇත.

උතුරු කොරියාවට අනුව ඇමරිකාවේ ඕනෑම තැනකට එල්ල කළහැකි, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඔවුන් විසින් අත්හදාබලනු ලැබුවේ නොවැම්බර් 29 වෙනිදා ය.

'පුපුරා ගොස් කෑළිවලට කැඩී වැටුනා'

"උතුරු කොරියානු මිසයිලයක් පුපුරා කැබළිවලට කැඩී අප දැන් සිටින ස්ථානයට නුදුරින් වැටුනා"

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "උතුරු කොරියානු මිසයිලයක් පුපුරා කැබළිවලට කැඩී අප දැන් සිටින ස්ථානයට නුදුරින් වැටුනා"

උතුරු කොරියානු ආණ්ඩුවට අනුවනොවැම්බර් 29 අත්හදා බැලූ "බලවත් ම" වූ එම මිසයිලය ජපාන මුහුදට පතිතවූ නමුත් මීට පෙර අත්හදා බලන ලද සෑම මිසයිලයකටම වඩා ඉහළ ගියේය.

වෙනත් ජාතීන් මෙන් නොව, උතුරු කොරියාව සාමාන්‍යයෙන් මිසයිල අත්හදා බැලීම් පිළිබඳව පූර්ව දැනුම්දීමක් නොකරයි. එබැවින් ඒවා ගුවන් ගමන් මාර්ගවලට අනතුරු ඇඟවීමකින් තොරව පිවිසීමට ඇති හැකියාව හේතුවෙන් ගුවන් යානාවලට අවදානම් තත්ත්වයක් උදා කරයි.

ප්යොංයැං පාලනයට අන්තර් ජාතික සිවිල් ගුවන්සේවා දත්තවලට ප්‍රවේශ වීමේ හැකියාව ඇති බැවින් කවරහෝ අත්හදා බැලීමකට ප්‍රථම ගුවන් සීමාව අධ්‍යනය කළ හැකිය.

යම් අනතුරක් සිදුවීමකට ඇති අවස්ථාව ඉතා අවම වුවද, ගුවන් සමාගම් මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිටී. පසුගිය අගෝස්තු මාසය මුලදී තම යානයක් උතුරු කොරියානු මිසයිල මාර්ගයට ආසන්නයෙන් පියාසරකර ඇතැයි හෙළිවීමත් සමග ප්‍රංශ ගුවන් සේවය උතුරු කොරියාවට ආසන්න ඔවුන්ගේ තහනම් ගුවන් කලාපය පුළුල් කළේය.

තීක්ෂණ ලක්ෂය - දින පහක් පුරා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒකාබද්ධ අභ්‍යාසය අතරේදී පියාසර කළ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් F-22 යානයක්

මේ අතර සඳුදා (දෙසැ 04) ඇමරිකාව හා දකුණු කොරියාව සිය විශාලතම ගුවන් අභ්‍යාසය ඇරඹු අතර එය දින පහක් පුරා ක්‍රියාත්මක වේ.

ගුවන් යානා 230ක් මෙන්ම දස දහස් ගණනක සෙබළ පිරිසක් ද එම අභ්‍යාසයේ යෙදී සිටිති.

ඇමරිකාව "න්‍යෂ්ටික යුද්ධයකට අතවනනවා" යැයි සති අන්තයේදී චෝදනා කළ උතුරු කොරියාව, මෙම අභ්‍යාසයට ප්‍රතිචාර දක්වන අන්දම පිළිබඳව "ඉතා ගැඹුරින් සලකා බලන බව" සඳහන් කළේය.

සබැඳි පුවත්: