Palm නමැති ඉතා කුඩා ඇමරිකානු ස්මාර්ට් දුරකතනය ගැන දැඩි උනන්දුවක්

Palm tiny smart phone

ඡායාරූප මූලාශ්‍රය, PALM

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩකයෙක් වන ස්ටීවන් කරී, පාම් දුරකතනයේ සන්නාම තානාපති කෙනෙකු ලෙස කටයුතු කරයි

සම්පූර්ණ ප්‍රමාණයේ ස්මාර්ට් ජංගම දුරකතනයකට "සහයක දුරකතනයක්" ලෙස android තාක්ෂණය ඇතුළත් කළ ඉතා කුඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් එක්සත් ජනපදයේදී එළි දක්වා තිබේ. මෙය 'පාම්' (Palm) නැමැති සන්නාම නාමය ඔස්සේ වෙළෙඳපොළට නිකුත් කර ඇත.

ප්‍රමාණයෙන් බැංකු කාඩ්පතක් පමණ වන මෙය කැමරා දෙකකින් යුක්තය. නමුත් 'හෙඩ්ෆෝන්' සම්බන්ධ කළ හැකි අහුව (Jack) සහ වයරයක් සම්බන්ධ නොකර ආරෝපණය කළ හැකි පහසුකම් මෙහි ඇතුළත් කර නොමැත.

මෙවැනි කුඩා දුරකතනයක් නිර්මාණය කිරීමේ අරමුණ යම් පුද්ගලයෙකු භාවිත කරන ප්‍රධාන ජංගම දුරකතනයෙන් විරාමයක් දීම යැයි එම සමාගම පවසයි. කෙසේවෙතත්, ස්මාර්ට් ජංගම දුරකතනයක ඇතුළත් සියලු උපාංග පාම් දුරකතනයේ ද දක්නට ලැබේ.

මෙම දුරකතනය තාක්ෂණය පිළිබඳ විචාරකයන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ මහත් පැසසුමට ලක් වී තිබේ.

ඩොලර් 349ක් වන මෙම උපකරණය නොවැම්බර් මස සිට ඇමරිකානු වෙළෙඳපොළට නිකුත් කරනු ඇත.

මේ ගැනත් දැනගන්න:

"මෙය ඔබගේ දැනට තිබෙන ජංගම දුරකතනය සමග සම්පූර්ණයෙන් ම සම්බන්ධ කළ හැකි නිෂ්පාදනයක්. ඒක නිසා ඔබගේ ස්මාර්ට් දුරකතනයට දමන්න බැරි සියලු දේ මෙයට සම්බන්ධ කළ හැකියි," එහි වෙළෙඳ ප්‍රවර්ධන වැකියක සඳහන් වී තිබිණි.

මෙම කුඩා දුරකතනයට සහාය පළකරමින් ඇමරිකාවේ ප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩකයෙකු වන ස්ටීවන් කරී පැවසුවේ "පාම් නැවත නිකුත් වන තුරු මට ඉවසිල්ලක් නැහැ," යනුවෙනි.

මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක් වන කේට් ස්පේඩ් මෙම දුරකතනයට සරිලන ප්‍රමාණයේ කවරයක් නිර්මාණය කිරීමට ද කටයුතු කර තිබේ.

Palm tiny smart phone

ඡායාරූප මූලාශ්‍රය, PALM

මෙම දුරකතන නිර්මාණය "ඇත්තෙන් ම අනාගතය වෙනුවෙන් ගත් හොඳ පියවරක්," යැයි විශ්ලේෂකයෙකු වන බෙන් වුඩ් පැවසීය.

"කුඩා සහයක ජංගම දුරකතන මින් පෙරත් වෙළෙඳපොළට හඳුන්වා දීමට උත්සහ කර තිබෙනවා, හැබැයි ඒ කිසිවක් පාරිභෝගිකයන්ගේ සිත් ඇද ගත්තේ නැහැ," ඔහු බීබීසී වෙත පැවසුවේය.

පාම් දුරකතනය ප්‍රධාන දුරකතනය සමග සම්බන්ධ කිරීමට බ්ලූටූත් තාක්ෂණය අවශ්‍ය නොමැති නිසා මෙය මෙතෙක් නිකුත් කළ නිෂ්පාදනවලින් වෙනස් වන බව ඔහු පැවසීය.

"පාම් දුරකතනය ඔබේ අත්ලට මනාව ගැළපෙන නිෂ්පාදනයක්," යැයි බෙන් වුඩ් පැවසුවේය.

Palm tiny smart phone

ඡායාරූප මූලාශ්‍රය, SCIENCE & SOCIETY PICTURE LIBRARY

ඡායාරූප ශීර්ෂ වැකිය, 'පාම් පයිලට්' ඩිජිටල් සහායක උපකරණය 1990 වසරවල දී සහ 2000 වසර මුලදී ඉතා ජනප්‍රිය වී තිබිණි

පාම් දුරකතනය ගැන සිය අදහස් ඉදිරිපත් කරමින් ඩීටර් බොන් Verge නම් වෙබ් අඩවියේ සටහන් කර තිබුණේ, "මෙය අමුතු කුඩා උපකරණයක්," යනුවෙනි.

"දැන් මේ හඳුන්වා දී තිබෙන්නේ ජංගම දුරකතනයෙන් ඔබ බේරා ගැනීම සඳහා දුරකතනයක්. එතකොට කව්ද ඔබ පාම් දුරකතනයෙන් බේරා ගන්නේ? මම හිතන්නේ, තවත් ඉතා කුඩා දුරකතනයකින් වෙන්න ඇති," ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

තවත් තොරතුරු: