තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්'

Durian

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දූරියන් ප්‍රසිද්ධ එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි

දැඩි ගන්ධයක් විහිදෙන පලතුරක් සමග අභ්‍යවකාශ යානයක සිර වී සිටින්නට සිදු වුවහොත් ඔබට දැනෙන හැඟීම කෙබඳු වේද?

අනාගත අභ්‍යවකාශ ගමන් සඳහා තායිලන්ත ආහාර යෝග්‍ය බව පෙන්වීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එළඹෙන ජූලි මස දූරියන් ගෙඩි අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කර තිබේ.

පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන ඒමට නියමිතය. එසේ රැගෙන ආ දූරියන් යම් වෙනසසකට ලක්වී ඇත්දැයි විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක්වනු ඇත.

අග්නිදිග ආසියාවේ පලතුරක් වන දූරියන් වඩා ප්‍රකට එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි.

එක්සත් ජනපදයේ නිෂ්පාදිත රොකට්ටුවකින් මෙම පලතුර අභ්‍යවකාශගත කරනු ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර සිටී.

Durian into space

ඡායාරූප මූලාශ්‍රය, GISTDA

ඡායාරූප ශීර්ෂ වැකිය, පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන එනු ලැබේ.

තායිලන්තය තවමත් අභ්‍යවකාශයට යන රටවල් අතර නැතත් අනාගතයේ දී අභ්‍යවකාශ ගමන් සදහා අහාර සැපයීමේ යෙදීමට බලාපොරොත්තු වේ.

"අපේ ප්‍රධාන ඉලක්කය වනුයේ ගගනගාමීන්ගේ පරිභෝජනය සදහා තායි ආහාර අභ්‍යවකාශයට යැවීමයි" යනුවෙන් 'Geo-Informatics and Space Technology Development Agency'හි ප්‍රකාශකයෙක් බීබීසී වෙත පැවසීය.

"මෙම ව්‍යාපෘතියේ ආරම්භයක් ලෙස අපි තායිලන්තයේ පලතුරුවල රජු ලෙස හැඳින්වෙන දූරියන් තෝරා ගත් අතර එය අභ්‍යවකාශයේ ගගනගාමීන් ජීවත්වන මට්ටමට යවා නැවත පොළොවට රැගෙන විත් කිසියම් වෙනස්කමක් සිදුව ඇත්දැයි නිරීක්ෂණය කරනවා"

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් "පෑඩ් තායි හෝ අඹ මිශ්‍ර බත් වැනි තවත් බොහෝ තායිලන්ත ආහාර අභ්‍යාවකාශයට යැවීමට හැකියි," ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

දූරියන් පලතුර තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ අතර, මැලේසියාව, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවලද දක්නට ඇත.

මෙම පලතුරෙන් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙන් සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතිවල දූරියන් රැගෙන යෑම තහනම් කර ඇත.

Durian into space

ඡායාරූප මූලාශ්‍රය, GISTDA

ඡායාරූප ශීර්ෂ වැකිය, අලියෙකු සිටින ලාංඡනයක් සමග මෙම දූරියන් අභ්‍යවකාශගත කරනු ඇත

කෙසේ වෙතත්, අභ්‍යවකාශයට යවන ප්‍රථම කලාපීය පලතුර දූරියන් නොවේ.

2008 දී දකුණු කොරියානු ගගනගාමියෙකු සමග 'කිම්චි' නැමැති ගෝවාවලින් සාදන කොරියානු ජාතික ආහාරයක් අභ්‍යවකාශය වෙත යවන ලදී.

තවත් තොරතුරු: