උතුරු කොරියාව සමග සාකච්ඡා ප්‍රමාද විය හැකියි - ට්‍රම්ප්

U.S. President Donald Trump (L) welcomes South Korean President Moon Jae-in at the White House in Washington, 22 May 2017.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ධවල මන්දිරයේදී

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සමග ඓතිහාසික සාකච්ඡාව ලබන මස නොපැවැත්වීමේ "ඉතා වැඩි ඉඩක්" පවතින්නේ යයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සාකච්ඡා පැවැත්වීමට නම් උතුරු කොරියාව ඒ හා සම්බන්ධ කොන්දේසි සම්පූර්ණ කළ යුතු බව කී ඇමරිකානු ජනාධිපතිවරයා එසේ නොමැතිනම් සාකච්ඡා "පසුව" පැවැත්වෙනු ඇති බව සඳහන් කළේය.

ජනාධිපති ට්‍රම්ප් ඒ බව කියා සිටියේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ධවල මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.

සිය රට පමණක් න්‍යෂ්ටික අවි අත්හල යුතු බවට ඇමරිකාව බල කර සිටින්නේ නම් සාකච්ඡා අවලංගු කිරීමට ඉඩ ඇති බව උතුරු කොරියාව පවසා තිබේ.

ට්‍රම්ප් සමග සාකච්ඡාවට උතුරු කොරියාවෙන් තර්ජනයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

සාකච්ඡා සම්බන්ධයෙන් ඇමරිකාව කුමන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කර ඇත්දැයි යන්න ජනාධිපති ට්‍රම්ප් සඳහන් නොකළ නමුත් උතුරු කොරියාවේ අවි සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ "න්‍යෂ්ටික අවි ඉවත් කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු" බවය.

ජනාධිපති ට්‍රම්ප් සහ නායක කිම් අතර හමුව ජුනි 12 වෙනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර ඓතිහාසික හමුව අප්‍රේල් මස පැවැත්විණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරියානු නායකයින් හමුවූ ඓතිහාසික අවස්ථාව

සාකච්ඡාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවසුවේ කුමක්ද?

ඔහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ "කුමක් සිදුවේදැයි කියා අපි බලමු" යනුවෙනි.

"අපට අවශ්‍ය යම් කොන්දේසි තිබෙනවා. ඒ කොන්දේසිවලට එකඟ වේවි කියලා මම සිතනවා. එසේ නොවුනොත් අපට සාකච්ඡාවක් නැහැ,"

කිම් ජොන් උන් යුවළ ෂි ජින් පිං යුවළ සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන් උන් යුවළ ෂි ජින් පිං යුවළ සමඟ

එමෙන්ම මැයි මස ආරම්භයේදී නායක කිම් චීනයේ කළ දෙවෙනි සංචාරයෙන් පසු ඔහුගේ ආකල්පමය වෙනසක් සිදුව ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සාකච්ඡාව සම්බන්ධයෙන් වඩාත් සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් කියා සිටියේ ජුනි 12 හමුව යථාර්ථයක් කිරීම සඳහා ඇමරිකාව තවමත් කටයුතු කරමින් සිටින බවය.

උතුරු කොරියාවට පීඩනයක් එල්ල කිරීම සඳහා "ඓතිහාසික සහායක්" ලබා දීම පිළිබඳ ඔහු චීනයට ප්‍රශංසා කළේය.

Hwasong missiles are displayed during a military parade in honour of the 100th birthday of the late North Korean leader Kim Il-Sung in Pyongyang on 15 April 2012.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 වසරේ හමුදා සංදර්ශනයකට ඉදිරිපත් කළ Hwasong මිසයිල

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික විනිර්මුක්ත බව කරා ගෙන යාම සඳහා තමන් කැපවන බව උතුරු කොරියාව ප්‍රකාශ කිරීමත් සමග එරට නායක කිම් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමේ එකඟතාව පළවිණි.

තමන් විසින් සියලුම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලද බව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පසුගිය අප්‍රේල් 21 වෙනිදා පැවසීය.

එමෙන්ම සිය රටට අයත් න්‍යෂ්ටික පර්යේෂණ ස්ථානයක් වසා දමනු ඇති බවත් ඔහු එහිදී කියා සිටියේය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික හැකියාව නිවැරදි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කර බැලීම අනවශ්‍ය බව කිම් ජෝන්ග් අන් වැඩි දුරටත් සඳහන් කළේය.