දකුණු කොරියාව ; ලෝකයේ වැඩියෙන්ම වැඩ කරන මිනිසුන්ට විරාමයක්

ඡායාරූප මූලාශ්‍රය, iStock
සිකුරාදා දිනවල රාත්‍රි අටට සියළු පරිගණක අක්‍රීය කරමින් දවසේ වැඩ නතර කරන ලෙස 'සෝල්' අගනුවර වෘත්තිකයන්ට බල කෙරෙන නව වැඩ පිළිවෙලක් දකුණු කොරියානු ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇත.
එම වැඩ පිළිවෙළේ උත්සාහය "අතිකාල වැඩ සංස්කෘතිය" නතර කිරීම වන බව පැවසෙයි.
ලෝකයේ දීර්ඝතම වැඩ පැය ගණන සහිත රට දකුණු කොරියාව ලෙස සැලකෙයි.
එරට ආණ්ඩුවේ සේවකයකුගේ වසරක සාමාන්‍ය වැඩ පැය ගණන පැය 2739 ක් යයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
එය වෙනත් සංවර්ධිත රටක වෘත්තිකයකු වැඩ කරන කාලය පැය දහසකින් පමණ ඉක්මවා යාමකි.
ආරම්භයේ දී 'සෝල්' නාගරික පාලන ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන ඉහත කී ව්‍යාපෘතිය ඉදිරි මාස තුන ඇතුළත තවත් අදියර තුනකින් ක්‍රියාවට නැංවීම දකුණු කොරියානු බලධාරීන්ගේ සැලැස්ම වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම මාර්තු 30 වෙනිදින රාත්‍රි අටට සියලු පරිගණක අක්‍රිය කරනු ලැබීමෙන් එය පළමු වරට ක්‍රියාත්මක කෙරෙයි.
එහි දෙවන අදියර ලබන අප්‍රියෙල් මාසයේ ආරම්භ කෙරෙනු ඇත.
අප්‍රියෙල් මාසයේ දෙවන සහ හතරවෙනි සිකුරාදා දිනවල රාත්‍රී හතයි තිහට පරිගණක අක්‍රිය කිරීමෙන් එම දෙවන අදියර සම්පූර්ණ කෙරෙයි.
අදාළ ව්‍යාපෘතියේ තුන්වෙනි සහ එහි අවසන් අදියර මැයි මාසයේ දියත් කෙරෙනු ඇත.
එය සිදු කෙරෙන්නේ මැයි මාසයේ පටන් සෑම සිකුරාදා දිනකම රාත්‍රි හතට පරිගණක අක්‍රිය කරනු ලැබීමෙනි.
'සුවිශේෂ තත්වයන්' යටතේ ඇතැම් රැකියා එහි බල පැවැත්මෙන් නිදහස් කරනු ලැබීමට ඉඩකඩ ඇති නමුත් 'සෝල්' නාගරික පාලනයේ ප්‍රකාශනයක් අනුව සියලු වෘත්තිකයන් එම වැඩ පිළිවෙළට අනුගත වීම අනිවාර්ය වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, yonhgap news
සතියකට පැය 68 ක් වූ වැඩ පැය සංඛ්‍යාවේ උපරිම සීමාව පැය 52 ක් දක්වා අඩු කෙරෙන නීතියක් මේ මාසය මුලදී දකුණු කොරියාවේ ජාතික මන්ත්‍රණ සභාව විසින් සම්මත කරනු ලැබුණි.
සබැඳි පුවත්;








