විදෙස් රැකියා අඩු වෙයිද?: "ඥාතී හිතවතුන් දැනුවත් කරන්න"

ශ්‍රී ලංකා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නිල වාර්තාවලට අනුව විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ලක්ෂ 15 ආසන්නය.

ඒ අතරින් වැඩි පිරිසක් මැදපෙරදිග කලාපයේ විවිධ ක්ෂේත්‍ර තුළ සේවයේ නිරත වී සිටිති.

එමෙන්ම දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය, මැලේසියාව, හොංකොං සහ ජපානය වැනි වෙනත් රටවල ද ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ නිරතව සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.

මේ අතර සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් වලංගු වීසා කාල සීමාව ඉකුත්වීමෙන් හෝ තම නීත්‍යනුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීති විරෝධී ලෙස සේවය කරන බවට කරුණු වාර්තා ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එවැනි පුද්ගලයන් නිසා රටේ කීර්ති නාමයට හානි සිදු වන බවය.

"නීති විරෝධී ලෙස කරන රැකියා සම්බන්ධයෙන් අපේ රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා" යනුවෙන් කී ඔහු එවැනි තත්ත්වයක් යටතේ දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාව වෙත ලැබෙන රැකියා කෝටා ප්‍රමාණය මේ වසරේ දී අඩු වී ඇති බව සඳහන් කළේය.

ඥාතීන් වෙත ඉල්ලීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 25,000 අධික පිරිසක් දකුණු කොරියාවට යවා ඇති බවත් ඉන් 5,000 වැඩි සංඛ්‍යාවක් වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රැකියා කරන බවත් නීතිඥ උපුල් දේශප්‍රිය පැවසීය.

"ඊශ්‍රායලයේත් මේ තත්ත්වය උදා වෙලා තිබෙනවා. මේකෙන් වෙන්නේ අනාගතයේ යන්න ඉන්න අයට දෙන කෝටා ප්‍රමාණය ඒ රටවලින් අපට අඩු කරලා තිබෙනවා"

එවැනි තත්ත්වයක් යටතේ නීති විරෝධී ලෙස විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රජය කිසිදු වගකීමක් ගනු නොලබන බව විදේශ රැකියා අමාත්‍යංශය අවධාරණය කරයි.

"වීසා බලපත්‍ර නොමැතිව සේවයේ නිරත වීම එම රටවල නීති රීති උල්ලංඝනය කිරීමක් වන අතර එය, දඩ මුදල් ගෙවීම සහ සිරගත කිරීමට ද හේතුවන වරදක් වේ" යනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තම ඥාතියෙකු හෝ හිතවතෙකු එසේ නීති විරෝධී ලෙස සේවයේ නිරත වන්නේ නම් ඔහු හෝ ඇය ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස විදේශ රැකියා අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

"තම වලංගු වීසා කාලය අවසන් වීමෙන් පසුව තවදුරටත් සේවය කිරීමට අවශ්‍ය නම් එය නීත්‍යනුකූල ලෙස සිදු කර ගන්නා මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටී" යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

line

ඔබ මැදපෙරදිග කලාපයේ හෝ විදෙස් රටක සිටින්නෙක්ද ?

line

ඔබේ අත්දැකීම් හා අදහස් බීබීසී වෙත දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]

සබැඳි යොමු: