ඌබර් කුලී රථ සේවයට කොලොම්බියාවේ විරෝධතාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොලොම්බියාවේ කුලී රථ රියදුරන් දහස් ගණනක් වීදි බැස අගනුවර මාර්ග අවහිර කරමින් ඌබර් කුලී රථ සේවයට එරෙහිව විරෝධතාවක් දියත් කළහ.
ජංගම දුරකථන 'ඇප්' ආධාරයෙන් ක්‍රියාත්මක වන කුලී රථ සේවා සඳහා "අසාධාරණ ලෙස වාසිදායක තත්වයක්" උදාවී ඇති බව උද්ඝෝෂණයේ යෙදුණු සාම්ප්‍රදායික කුලී රථ රියැදුරෝ පවසති.
ඌබර් රියදුරන් විසින් කුලී රථ සේවා වෙනුවෙන් ලබාගත යුතු රක්ෂණාවරණයක් සඳහා ගෙවීම් නොකරනු ලබන බව ද උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔවුන් ඉල්ලා සිටින්නේ නවීන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වන ඌබර් සහ කැබිෆයි වැනි කුලී රථ සේවා දැඩි නියාමනයකට යටත් කළ යුතු බවය.
සඳුදා (ඔක්තෝම්බර් 23) පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොලොම්බියාවේ බොගොටා අගනුවර ගමනාගමනයට දැඩි බාධා ඇති විය.
මෙම විරෝධතාවට එක්වීම ප්‍රතික්ෂේප කළ පිරිසට උද්ඝෝෂකයන් පහර දෙන්නට පටන් ගැනීමත් සමඟ ඊට පොලිසිය මැදිහත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනතුරුව පොලිසිය සමඟ ද ගැටුම් ආරම්භ වූ බැවින් උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
"ඌබර් සහ කැබිෆයි වගේ මේ රටට එන්න හදන හැම 'ඇප්ලිකේෂන්' එකක්ම තහනම් කළ යුතුයි," විරෝධතාවට එක්වී සිටි රියදුරු විලියම් ට්‍රිවිනෝ පැවසීය.
නමුත් කොලොම්බියාවේ බලධාරීන් පවසන්නේ එවැනි සේවා නතර කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවය.
මිලියන අටක් පමණ ජනගහනයක් සහිත බොගොටා අගනුවර කුලී මෝටර් රථ 50,000ක් පමණ ලියාපදිංචි වී ඇත.









