'ඌබර්' සහ 'ග්‍රැබ්' වලට එරෙහි කුලී රථ රියදුරෝ

ඡායාරූප මූලාශ්‍රය, Dian Pitaloka

ගමනාගමනය පහසු කිරීම වෙනුවෙන් පවතින ජංගම දුරකථන වැඩසටහන් (mobile apps) භාවිතයට එරෙහිව ඉන්දුනීසියාවේ ජකර්තා අග නුවර කුලී රථ රියදුරන් විශාල වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

'ග්‍රැබ්', 'ඌබර්' (Grab and Uber) වැනි දුරකථන වැඩසටහන්(apps) හේතුවෙන් ඉතා ජනාකීර්ණ ජකර්තා නගරයේ කුලී රථ එල්ල වීමෙන් සිය ජීවිකාව කර ගත නොහැකි තත්වයක් උදා වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම දුරකථන පරිඝනක වැඩසටහන් වලින් ජංගම දුරකතනය භාවිතා කොට අන්තර්ජාලය මාර්ගයෙන් කුලී රථයක් වෙන් කරවා ගැනීමට හැකියාව ලැබෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එක්සත් ජනපදයේ සකසන ලද ‘ඌබර්’ නමැති ජංගම දුරකථන මෘදුකාංගය භාවිතා කොට කුලී රථ වෙන් කරවා ගත හැකි අතර මේ වන විට ‘ඌබර්’ ජංගම දුරකථන මෘදුකාංගය ලොව පුරා නගරවලදී භාවිතා කිරීමටද හැකියාව තිබේ.

මෙම දුරකථන වැඩසටහන් වලට සිය විරෝධය දැක්වූ කුලී රථ රියදුරන් මහා මාර්ග අවහිර වන ලෙස සිය වාහන නවතා වැඩ වර්ජනයක නිරත වූ අතර සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවන කුලී රථ වලට පහර දෙමින් අලාභ හානි සිදු කිරීමටද ක්‍රියා කර තිබේ.

දැඩි වාහන තද බදයක්

වර්ජනයේ යෙදෙන කුලී රථ රියදුරන් කියා සිටින්නේ මෙම දුරකථන වැඩසටහන් ඔස්සේ මගීන්ට ගමනාගමන පහසුකම් ලබා දෙමින් මුදල් අය කර ගන්නා සමාගම් වලට වඩා වැඩි ප්‍රමාණයේ අය කිරීම් සිය කුලී රථ වලින් රජය ලබන බවයි.

ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව වෙත යොමුවන මාර්ගය, පරිපාලන කාර්යාල වෙත දිවෙන මාර්ග සහ තොරතුරු කළමනාකරණ අමාත්‍යාංශය අසල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කොට ඇති කුලී රථ රියදුරන් ටයර් ගිනි තබමින් සිය විරෝධය ප්‍රදර්ශනය කරන බවයි ජකර්තා හි සිටින බීබීසී වාර්තා කරුවන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මාර්ග අවහිරය නිසා මං මාවත් වල දැඩි වාහන තද බදයක් හට ගෙන ඇති අතර ඉතා ජනාකීර්ණ ජකර්තා අගනුවර එදිනෙදා ජන ජීවිතයට විශාල හිරිහැරයක් සිදු වෙමින් පවතියි.

ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් විදෙස් ගත වීමට ගුවන් තොටුපල වෙත යමින් සිටිය දී මාර්ග තදබදයට හසුව සිය ගුවන් ගමන අත් හැරුණු ව්‍යාපාරික කාන්තාවක් AP පුවත් සේවය අමතමින් කියා සිටියේ මෙම වද වර්ජනය ඉතා අන්තවාදී ඉවසිය නොහැකි තත්වයක් බවයි.