ලිංගික හිරිහැර: වෙස් වලා ගත් පොලිසිය ලන්ඩන් උමං දුම්රියේ

ලන්ඩනයේ උමං දුම්රිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාව මුහුණ දෙන ලිංගික හිංසන වැළැක්වීම සහ වැරදිකරුවන්ට දඬුවම් දීම පිණිස ලොව බොහෝ රටවල් විවිධ උපක්‍රම දියත් කරති.

කාන්තාවන් ලිංගික හිංසනවලින් වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව, තුර්කිය සහ එක්සත් අරාබි එමීරය වැනි රටවල් කාන්තාවන් උදෙසාම වෙන් වූ බස් රථ, ත්‍රී රෝද රථ සහ දුම්රිය මැදිරි හඳුන්වා දී තිබේ.

මේ අතර බ්‍රිතානයේ ලන්ඩන් අගනුවර පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදු වන ලිංගික හිරිහැරවලින් 90% ක්ම වාර්තා නොවෙන බව 'ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන්' (Transport for London) ආයතනය පවසයි.

එයට වැට බැඳීම පිණිස ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන්' ආයතනය සහ ලන්ඩන් පොලිසිය එක්ව විශේෂ වැඩසටහනක් දියත් කොට තිබේ.

ඒ ලිංගික හිංසකයන් සෙවීම පිණිසම වෙස් වලා ගත් පොලිස් නිලධාරීන් ලන්ඩන් උමං දුම්රියවල සේවයේ යෙදවීමය.

වීඩියෝ ශීර්ෂ වැකිය, "ඒ මිනිහ ලිංගික අතවරයක් කළා කියල ඒ කාන්තාව මට කීව"

'සියයක් කාන්තාවෝ; ලොවින් අඩක් ඔබ අමතයි' වාර්ෂික විශේෂාංගය වෙනුවෙන් එවැනි එක් නිලධාරියෙකුගේ දින චරියාව පිළිබඳව බීබීසී ය සකස් කළ වාර්තාවකි, මේ.

"අපි අද උදේ බෑන්ක් (Bank) ස්ටේෂන් එකේ හිටපු වෙලාවේ එක මිනිහෙක් ගැන මගේ ඇහැ ගියා," වෙස් වලාගත් පොලිස් නිලධාරියා විස්තර කරයි.

"මොකද මිනිහ හිටගෙන හිටියේ කාන්තාවකට බොහොම සමීපව. අනික ඒ කාන්තාව වේදිකාව දිගේ ඇවිදගෙන යන විදිය මිනිහ හොඳට බලාගෙන ඉන්නවා මම දැක්ක."

එබැවින් ඒ පුද්ගලයාගේ හැසිරීම නිරීක්ෂණය කළ යුතු බවට පොලිස් කණ්ඩායම තීරණය කළහ.

වෙස් වලා ගත් නිලධාරීන් දුම්රියවල සැරිසරන අතරවාරයේ නිරීක්ෂණ මධ්‍යස්ථානවල සිට තවත් කණ්ඩායමක් සීසීටීවී (CCTV) දර්ශන නිරීක්ෂණය කරති.

ලන්ඩනයේ පොදු ප්‍රවාහන සේවා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මිනිහ දැන් මයිල් එන්ඩ් (Mile End) ස්ටේෂන් එකට ඇවිල්ල ඊට පස්සේ ප්ලැට්ෆෝම් එක මාරු කරලා ආයෙත් ආපු පැත්තටම යන ප්ලැට්ෆෝම් එකට ආව. මේක කොහෙත්තම සාමාන්‍ය හැසිරීමක් නෙවෙයි."

එක් උමං දුම්රියක් පැමිණියත් එයට ගොඩ නොවන එම පුද්ගලයා සෙනග පිරෙන තුරු වේදිකාවේ සිටින ආකාරය පොලිසිය නිරීක්ෂණය කරයි. ඒ අතරවාරයේ තවත් කාන්තාවක වෙත ඔහුගේ බැල්ම යොමු වේ.

"මිනිහ වුවමනාවෙන්ම එයාට ඉස්සර වෙලා නගින්න දීල ඒ කාන්තාවගේ පිටිපස්සෙන් ට්‍රේන් එකට නැග්ග. කෙලින්ම අර තරුණියගේ පිටිපස්සෙන් මිනිහ හිටගත්ත හැටි දැක්කද ?"

කිසිවක් සිදුවීමට පෙර එය නැවැත්වීම සිය කණ්ඩායමේ අභිලාශය වුවත් ඔහු උමං දුම්රිය තුළට ගොඩ වූ බැවින් තමන්ට එහිදී කිසිවක් කළ නොහැකි වූ බවත් පොලිස් නිලධාරියා පවසයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනය

අනතුරුව දුම්රිය වෙනත් දුම්රිය ස්ථානයක නැවතු අවස්ථාවේ ඒ කාන්තාව හඬමින් දුම්රියෙන් බැස යයි.

"මා ලඟින් යන කොට එයා හොඳටම අප්සෙට් වෙලා අඬන බව මම දැක්ක."

ඇය අසලට යන ඔහු සිදු වූයේ කුමක් දැයි අයගෙන් විමසයි.

"ඒ මිනිහ එයාට ලිංගික අතවරයක් කළා කියල ඒ කාන්තාව මට කිවුව."

වහාම ක්‍රියාත්මක වෙන පොලිසිය කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනියි.

වීඩියෝ ශීර්ෂ වැකිය, "ඔහු මගේ පියයුර ස්පර්ශ කළා"

දුම්රියවල කාන්තාවන් උදෙසාම මැදිරි වෙන්කිරීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ ද වරින් වර සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාවන්ට ලිංගික අතවර කරන පුරුෂයන් නින්දාවට පත්කිරීමේ අරමුණින් මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක පසුගියදා 'ලිඟු ආසනයක්' සවි කර තිබුණි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් 90% කට වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවාවල දී ලිංගික හිරිහැරවලට ලක්වන බව අනාවරණය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් දියත් කෙරුණි.

පොදු ප්‍රවාහන සේවාවල දී තමන් මුහුණ දෙන වේදනාබර අත්දැකීම ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද හෙළි කළහ.