ඇෆ්ගනිස්ථානයේ දේවස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාර දෙකකින් 60 දෙනෙකු මරණයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති.
කාබුල් නුවර ෂියා මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් 39 දෙනෙකු මිය ගිය අතර ඝෝර් ප්‍රාන්තයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයෙන් 20 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.
සිද්ධිය ඇසින් දුටුවෙකු බීබීසීයට කියා සිටියේ කාබුල් නුවර බටහිර කලාපයේ පිහිටි ඉමාම් සාමන් දේවස්ථානයේ ඉදිරිපස යුද බිමක ස්වරුපයක් ගන්නා බවය.
යාඥා කරමින්
මෙම ප්‍රහාරය එල්ල වන විට බැතිමතුන් යාඥා කරමින් සිටි බව තවත් සාක්‍ෂිකරුවෙක් කියා සිටියේ ය.
මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිකුරාදාවේ සිදුකෙරෙන යාඥා සඳහා බැතිමතුන් රැස්වූ අවස්ථාවේදී ය.
ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයා සිය බෝම්බය පුපුරවා ගැනීමට පෙර රැස්ව සිටි පිරිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වෙයි.
මේ සතිය තුළ පමණක් ඇෆ්ගනිස්ථානය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රහාරයේ වගකීම
ඇෆ්ගනිස්ථානයේ ෂියා මුස්ලිම්වරුන්ගේ දේවස්ථාන, සුන්නි මුස්ලිම්වරුන් වන ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රහාරයන්ට ඉලක්ක වී තිබුණි.
නමුත් මෙම ප්‍රහාරයේ වගකීම තවම කිසිවෙකු භාරගෙන නැත.
ප්‍රහාරය සිදු වූ ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඇෆ්ගන් බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරය එල්ල වුයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඇෆ්ගන් පොලිසිය නිවේදනය කර දිනකට පසුවය.
පසුගිය අගෝස්තුවේදී කාබුල් නුවර බැතිමතුන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු මරණයට පත් විය.
ට්‍රක් රථයක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරීමෙන් කාබුල් නුවර 150 දෙනෙකු මිය ගියේ පසුගිය මැයි මාසයේදී ය.








