සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන්

Afghan women wearing Burqas

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කාන්තාවන්ගේ නම ප්‍රසිද්ධියේ හඬනැගීමෙන් වැළකී සිටිය යුතුය යන්න ඇෆ්ගනිස්තාන සමාජය තුළ පවතින සම්ප්‍රදායකි.

පවුලේ වැඩිහිටි පිරිමින් විසින් සාමාන්‍යයෙන් කාන්තාවන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ අම්මා, දුව හෝ සහෝදරිය ලෙස පමණි.

කාන්තාවකගේ නම භාවිත කිරීම නොසතුටට මෙන්ම ඇතැම්විට අපහාසයක් ලෙස ද සැළකේ.

තොම්සන්-රොයිටර්ස් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි ඇෆ්ගනිස්තානයේ නීතියට අනුව දරුවෙකුගේ උප්පැන්න සහතිකය තුළ මවගේ නම සඳහන් නොකළ යුතුය.

නමුත් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිනියෝ පෙළ ගැසෙමින් සිටිති.

#WhereIsMyName (මගේ නම කෝ?) හෑෂ් ටැගය භාවිත කරමින් ඔවුන් සමාජ ජාල තුළ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

"අන්ධ විශ්වාස"

Afghan women look at shoes at a market in Ghazni province, Afghanistan.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එම කාන්තා ව්‍යාපාරයට එක්ව සිටින බහාර් සොහෙලි, 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වෙත අදහස් දක්වමින් "මෙය ක්ෂණික ඇරඹුමක් පමණයි. මේක තමන්ගේ අනන්‍යතාව ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ඇෆ්ගන් කාන්තාවන් හමුවේ පැන නැගෙන ප්‍රශ්නයක්" යනුවෙන් පවසා තිබිණි.

"යථාර්ථය නම් කාන්තාවනුත් මේ පිළිබඳ නිහඬව සිටීමයි. ඔවුන් ඊට විරෝධය පළ කරන්නේ නැහැ"

කාබුල් අගනුවර වෙසෙන නජ්ලා ඉහත කී ව්‍යාපාරයට සහාය දක්වමින් බීබීසී වෙත කියා සිටියේ:

"අපට මෙවැනි අන්ධ විශ්වාස උරුම වෙලා තිබෙන්නේ අපේ වැඩිහිටි පරම්පරාවෙන්. තමන්ගේ බිරිඳගේ නම කීම ගැන ලජ්ජාවට පත් වන පිරිමිත් ඊට හේතුව දන්නේ නැහැ. වැඩිහිටියන්ට අනුව යමින් එසේ කළ යුතුයි කියා ඔවුන් හිතනවා"

සිය බිරිඳ සුල්තානා සහ තමන් එකට සිටින ඡායාරූපයක් සමාජ ජාලයේ පළ කරමින් ජනප්‍රිය ඇෆ්ගනිස්තාන සංගීතවේදියෙකු වන ෆර්හාඩ් දර්යා ඉහත කී කාන්තා ව්‍යාපාරයට එක් විය.

සජීවී සංදර්ශන අතරතුර තමන් සිය බිරිඳගේ හෝ මවගේ නම සඳහන් කරන සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයන් වෙතින් සෘණාත්මක ප්‍රතිචාර ලැබෙන බව ඡායාරූපය පළ කරමින් ඔහු සඳහන් කර තිබිණි.

නමුත් අදාළ ඡායාරූපය සහ එහි පළ කර තිබූ අදහස් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබී ඇත.

ඉස්ලාම් ධර්මය

Tahmina from Kabul

ඡායාරූප මූලාශ්‍රය, BBC Persian

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම කාන්තාවක්. කවුරුන්ගේ හෝ මවක්, සහෝදරියක්, දියණියක්, හෝ බිරිඳ කියන කාරණයට කළින් මම මනුෂ්‍යයෙක්" ටහ්මිනා පවසන්නීය

ෆර්හාඩ් දර්යාගේ එම ක්‍රියාව ඇතැම් පුරුෂයන් ද අනුගමනය කරනු දක්නට හැකි විය.

"මාත් නිවටයෙක් කියලා දැන් කියන්න. මගේ බිරිඳගේ නම ටහිරා" නසීර් සිය සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබිණි.

"කාන්තාවන්ගේ නම සඟවා තැබීම සහ ඉස්ලාම් ධර්මය අතර සම්බන්ධයක් නැහැ. එය එසේ නම් ඉස්ලාම් ශාස්තෘවරයාගේ බිරින්දෑවරුන්ගේ නම් හැමෝම දන්නේ කොහොමද?" යනුවෙන් නශීර් අන්සාරී සමාජ ජාල තුළ අදහස් පළ කර තිබිණි.

සිය නමින් පෙනී සිටීමේ ව්‍යාපාරයට සහාය පළ කරන ඇෆ්ගනිස්තාන කාන්තාවන් බීබීසී පර්සියානු සේවය වෙත අදහස් පළ කළහ:

"මම කාන්තාවක්. කවුරුන්ගේ හෝ මවක්, සහෝදරියක්, දියණියක්, හෝ බිරිඳ කියන කාරණයට කලින් මම මනුෂ්‍යයෙක්" ටහ්මිනා පවසන්නීය.

"මගේ නමින් මට කතා කළ යුතුයි. පාසලේ, නිවසේ, වෙළඳපොළේ, හෝ කොතැනක වුනත් වෙනත් නමකින් කතා කිරීම මට ඇතිවෙලයි තියෙන්නේ. ඒක මට හරිම වේදනාවක්"

සොහොන් කො

Talaya from Herat

ඡායාරූප මූලාශ්‍රය, BBC Persian

ඡායාරූප ශීර්ෂ වැකිය, "මරණයෙන් පසුවත් කාන්තාවන්ට අනන්‍යතාවක් නැහැ" ටලයා පවසන්නීය

එම අදහසට එකඟත්වය පළ කරන ටලයා: "අවමංගල්‍ය උත්සවයේදීවත් කාන්තාවගේ නම කියන්නේ නැහැ. අවමංගල්‍ය සඳහන් කාඩ් පත්වල හෝ සොහොන් කොතේ නම සඳහන් නැති නිසා මරණයෙන් පස්සෙවත් කාන්තාවන්ට අනන්‍යතාවක් නැහැ"

"දුක් විඳින අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතීන් නැවත ලබා ගැනීම සඳහා කාන්තාවන් පමණක් නෙවෙයි, පිරිමිත් මේ සටනේදී එකට සිටගත යුතුයි. දිවා රාත්‍රියේ ඒ සඳහා උත්සාහ කළ යුතුයි"