ඇෆ්ගන් ආරක්ෂක ඇමති සහ හමුදාපතිවරයා ඉල්ලා අස්වෙති

ඡායාරූප මූලාශ්‍රය, MAHFOUZ ZUBAIDE
ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ලවූ තාලිබාන් ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්ෂක ඇමතිවරයා සහ හමුදාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙති.
පසුගිය සිකුරාදා එල්ලවූ මෙම ප්‍රහාරය වාර්තා වූයේ දශකයකට වැඩි කාලයක් ඇතුළත ඇෆ්ගන් හමුදාවට එල්ලවූ දරුණුතම තාලිබාන් ප්‍රහාරය ලෙසිනි.
මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවී මිය ගිය සොල්දාදුවන්ගේ ගණන තවමත් පැහැදිලි නැති අතර ඇතැම් වාර්තා සඳහන් කරන්නේ සොල්දාදුවන් දෙසීයක් පමණ මියයන්නට ඇති බවය.
කැමැත්තෙන්

ඡායාරූප මූලාශ්‍රය, MAHFOUZ ZUBAIDE
ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තාකරුවන් අමතමින් කතාකළ ඇෆ්ගන් ආරක්ෂක ඇමති අබ්දුල්ලා හබිබි කියා සිටියේය.
"ඉල්ලා අස්වෙන්න කියල මට කිසිම කෙනෙක් බලපෑම් කළේ නැහැ. ඒක ජාතියේ නාමයෙන් මගේ කැමැත්තෙන් ම ගත් තීරණයක්. මම විශ්වාස කරනවා තරුණ පරම්පරාව හිඩැස පුරවාවී කියල. ඒ වගේම සාර්ථකත්වය කරා යයි කියල. මේ ප්‍රශ්නය ඔවුන්ට විසඳන්න පුළුවන් වෙයි." යනුවෙන් ඔහු පැවසීය.
ප්‍රහාරය සිදුවූ ස්ථානයට ගිය බීබීසී වාර්තාකරු කියා සිටියේ හමුදා කඳවුරේ ගොඩනැගිලිවල බිත්ති පුරා වෙඩි සලකුණු සහ ළේ පැල්ලම් විසිරී තිබෙන බවය.
හමුදා නිල ඇඳුම්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ප්‍රහාරය සඳහා පැමිණි තලිබාන් සටන්කරුවන් හමුදා නිල ඇඳුම් ඇඳ සිටි අතර ඔවුන්ට හමුදාව තුළ සිටින ඇතැම් අයගෙන් සහයෝගය ලැබෙන්නට ඇති බවට සැක පළවී තිබේ.
උතුරු ඇෆ්ගනිස්ථානයේ 'බාල්ක්' පළාතේ මසාර්- එ- ෂරීෆ් නගරයට නුදුරින් ඇති හමුදා කඳවුරේ සිකුරාදා (අප්‍රේල් 21) පැවති ගැටුම පැය කිහිපයක් පැවතුණි.
තාලිබාන් සටන්කරුවන් විසින් කඳවුරේ මුස්ලිම් පල්ලියේ යාඥා මෙහෙයට සහභාගී වී ඉන් පිටව යන හමුදා භටයන් සහ ආපනශාලාවේ සිටි පිරිස ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කරන ලද ඇෆ්ඝන් යුද හමුදාව පවසයි.
ආරක්‍ෂක මුර කපොලු හරහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් යවමින් ප්‍රහාරය එල්ල කළ බව තාලිබාන් නිවේදනයක සඳහන් වේ.








