කිම් ජොන් අන් ඝාතන සැලැස්මක්?

ඡායාරූප මූලාශ්‍රය, KCNA
'ප්යෝන්ග්යෑන්' පාලක කිම් ජොන් අන් (Kim Jong-un) ඝාතනය කරනු ලැබීමේ සැලැස්මක් ද ඇතුළුව දකුණු කොරියානු ආණ්ඩුවේ යුද ලේඛන මහා තොගයක් උතුරු කොරියාව අතට පත්ව ඇති බවක් වාර්තා වෙයි.
දැනට ලැබී ඇති තොරතුරු අනුව එම දකුණු කොරියානු යුද ලේඛන පැහැර ගනු ලැබ තිබෙන්නේ උතුරු කොරියානු 'හැකරුන්' විසිනි.
දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලී චල් හී (Rhee Cheol-hee) ප්‍රකාශයක් කරමින්, එම තොරතුරු සියරටේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇතැයි සඳහන් කරයි.
අනාගතයේ සිදු වීමට ඉඩකඩ ඇති යුද්ධයක් සැලකිල්ලට ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ඇතිවූ එකඟතාවක් අනුව පිළියෙළ කරන ලද යුද සැලැස්මක් පැහැර ගනු ලැබ ඇති ලේඛනවලට ඇතුළත් වෙයි.
එසේම දෙරටේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ට යොමු කෙරෙන වාර්තාද ඒ අතර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එම තොරතුරු උතුරු කොරියාව අතට පත්ව ඇති බවට පළ වෙන වාර්තා සම්බන්ධයෙන් අදහසක් පළ කරනු ලැබීම දකුණු කොරියාව තවමත් ප්‍රතික්ෂේප කරමින් සිටියි.
දකුණු කොරියාවේ යුද මධ්‍යස්ථාන සහ විශේෂ විදුලි බල මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු මෙන්ම එරට විශේෂ හමුදාවන්ට අදාළ සැලසුම් උතුරු කොරියාව අතට පත්ව ඇති බව දැනට ලැබී ඇති වාර්තා මගින් පැවසෙයි.
දකුණු කොරියාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලී චල් හී (Rhee Cheol-hee) ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයකු වෙයි.
ආරක්ෂක තොරතුරු සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ යුද ලේඛනවලින් ගිගාබයිට්ස් 235 ක් පමණ සොරකම් කරනු ලැබ ඇති බව මන්ත්‍රීවරයා පවසයි.
එම සොරකම කර තිබෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ බවත් දැක්වෙයි.
පසුගිය මැයි මාසයේ ප්‍රකාශයක් කළ දකුණු කොරියාව, තම රටේ රහස්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් සොරකම් කරනු ලැබ ඇති බව අනාවරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
උතුරු කොරියාව විසින් සයිබර් ප්‍රහාරයක් මෙහෙයවා ඇති බවක් එම ප්‍රකාශනය මගින් කියා සිටියත් 'පැහැර ගනු ලැබ තිබෙන්නේ මොනවාද?' යන්න සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් නොවුණි.
එහෙත් උතුරු කොරියාව විසින් එම ප්‍රකාශය බැහැර කරනු ලැබ ඇත.
අසල්වැසි කොමියුනිස්ට් සගයා විසින් සිය අන්තර්ජාල වෙබ් අඩවි සහ වෙනත් ආයතන ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන සයිබර් ප්‍රහාර රැල්ලකට 'සෝල්'(Seoul) පාලනය ගොදුරු වී ඇති බව දකුණු කොරියාවේ යොන්හැප්(Yonhap) පුවත් ආයතනය වාර්තා කරයි.
උතුරු කොරියාව 'හුදෙකලා' රාජ්‍යයක් වන නමුත් චීනය ද ඇතුළු පිටරටවල ස්ථානගත කරන ලද විශේෂයෙන් පුරුදු පුහුණු කරන ලද හැකරුන් 'ප්යෝන්ග්යෑන්' පාලනය සතු වෙතැයි විශ්වාසයක් පවතී.
එහෙත් ඉහත කී චෝදනා සියල්ල "ප්‍රබන්ධයක්ය" යන්න උතුරු කොරියාවේ ප්‍රතිචාරයයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
සමස්ත ශක්තිය යොදා කොරියානු අර්ධද්වීපයේ සිදු කරන යුද්ධයක් සඳහා 'සෝල්' සහ 'වොෂිංටන්'බලධාරීන් විසින් සකස් කරන ලද සැලසුම් 'ප්යෝන්ග්යෑන්' පාලනය අතට පත්වීම ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර පවතින ගැටුම්කාරිත්වය සමනය කිරීමට කිසිදු හේතුවක් නොවන බවත් ප්‍රකාශ වෙයි.
උතුරු කොරියාවේ මිසයිල් අත්හදා බැලීම් නතර කරන ලෙස එක්සත් ජනපදය බලපෑම් කරන අතරවාරයේ එම අත්හදා බැලීම් දිගටම සිදු කරන බව කිම් ජොන් අන් පාලනය සපථ කිරීමත් සමඟ දෙපාර්ශවය නොවිසඳුන වාග් සංග්‍රාමයක පැටලී සිටිති.








