"පුංචි රොකට් මෑන්' එක්ක සාකච්ඡා සඳහා වෙහෙසීම කාලය නාස්ති කිරීමක්"

"පුංචි රොකට් මෑන්' එක්ක සාකච්ඡා සඳහා වෙහෙසීම කාලය නාස්ති කිරීමක්"
ඡායාරූප ශීර්ෂ වැකිය, "පුංචි රොකට් මෑන්' එක්ක සාකච්ඡා සඳහා වෙහෙසීම කාලය නාස්ති කිරීමක්"

උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මගින් මතුව ඇති අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ගනිමින් ඇති උත්සාහය 'නිරර්ථක කාලය කා දැමීමක්' පමණක් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

'ට්විටර්' පණිවුඩයක් මගින් සිය රාජ්‍ය ලේකම්වරයා අමතන ජනාධිපති ට්‍රම්ප් " රෙක්ස්! ඔබේ ශක්තිය නිකරුනේ වැය නොකරන්න! කළ යුතු දේ අපි කරනවා" යනුවෙන් සඳහන් කර ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් එම 'ට්විටර්' පණිවුඩය නිකුත් කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර සන්නිවේදන සබඳතා ඇති බවට කරුණු පළ වීමෙන් අනතුරුවයි.

රාජ්‍ය ලේකම් ටිලර්සන් සෙනසුරාදා (සැප්තැම්බර් 30)එම සබඳතා හෙළිදරව් කරන ලද්දේ සාකච්ඡා සඳහා 'ප්යෝන්ග්යෑන්' පාලනය තුළ එක්තරා කැමැත්තක් ඇති බවක් පවසමිනි.

සබැඳි පුවත ;

පසුගිය මාස කීපය පුරාම එක්සත් ජනපදය සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක පැටලී සිටියදී එම දෙපාර්ශ්වය අතර සන්නිවේදන සබඳතා පැවත්ම ලෝකයට රහසක් විය.

'ප්යෝන්ග්යෑන්' පාලනය විනාශ කරන බවට තර්ජනය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හඳුන්වා දෙන ලද්දේ "සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදී සිටින රොකට් කාරයකු" හැටියටයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තර්ජනයට කිම් ජොන් අන් විසින් පිළිතුරු දෙන ලද්දේ "ගින්දර සමඟ සෙල්ලම් කරන වියරු මහල්ලා හීලෑ කර ගන්නැයි" කියා සිටිමිනි.

එම වාග් සංග්‍රාමය ආරම්භ වුණේ උතුරු කොරියාව විසින් කලක පටන් දිගින් දිගටම සිදු කරනු ලබන මිසයිල අත්හදා බැලීම් සමඟයි.

සාකච්ඡා සඳහා කුඩා ඉඩක් - රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්
ඡායාරූප ශීර්ෂ වැකිය, සාකච්ඡා සඳහා කුඩා ඉඩක් - රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්

එක්සත් ජනපදයේ උවමනාව උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය නතර කිරීමයි.

එහෙත් උතුරු කොරියාව පසුගිය සැප්තැම්බර් තුන් වෙනිදා අන්තර් මහාද්වීපික මට්ටමින් දිග දුර ප්‍රහාර සඳහා උපයෝගී කරගත හැකි 'හයිඩ්‍රජන්' බෝම්බයක් සාර්ථකව අත්හදා බලන ලද බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වොෂින්ටනය සහ 'ප්යෝන්ග්යෑන්' පාලනය අතර වාග් සංග්‍රාමය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබුණි.

මේ අතරවාරයේ චීනයේ සංචාරයක නිරත වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, 'ප්යෝන්ග්යෑන්' පාලනය සාකච්ඡා සඳහා ඇද ගැනීමට සහ 'ඇහුන්කන් දීම සඳහා' ඔවුන් යොමු කර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව වොෂින්ටනය මගක් සොයමින් සිටින බව කියා සිටීමත් සමඟ, අර්බුදය අලුත් අදියරක් කරා යොමු වෙමින් ඇතැයි ලෝකය බලාපොරොත්තු තැබුවත්, ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරිදා නිකුත් කරන ලද අලුත්ම 'ට්විටර් පනිවුඩයත් සමඟ යළි මතුවෙමින් පවතින්නේ මඳක් යටපත්ව පැවති වාග් සංග්‍රාමයයි.

ලෝකයේ සිව්වෙනි තැන හිමිකර ගන්නා උතුරු කොරියානු යුද හමුදාව ඇමෙරිකාවට සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ සිව්වෙනි තැන හිමිකර ගන්නා උතුරු කොරියානු යුද හමුදාව ඇමෙරිකාවට සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින්

" විශිෂ්ඨ කාර්ය භාරයක් ඉටු කරමින් සිටින අපේ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ට මම කිව්වා - 'පුංචි රොකට් මෑන්' එක්ක සාකච්ඡා සඳහා වෙහෙසීම කාලය නාස්ති කිරීමක්ය කියල" ජනාධිපති ට්‍රම්ප් ඉරිදා (ඔක්තෝබර් 01) නිකුත් කළ 'ට්විටර්' පණිවුඩය මගින් පවසයි.

" රෙක්ස්! ඔබේ ශක්තිය නිකරුනේ වැය නොකරන්න! කළ යුතු දේ අපි කරනවා" යනු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'ට්විටර්' පණිවුඩයට එක් කරනු ලැබ ඇති ඊලඟ වචන කීපයයි.

"කළ යුතු දේ අපි කරනවා" එම වචන කීපය මගින් ඔහු අදහස් කරන්නේ කුමක්ද? යන්න ඇමරිකානු ජනාධිපතිවරයා නොපවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු පරිපාලනයේ ඉහළ නිලධාරීන් ව්‍යකූල තත්වයකට පත් කරමින් ප්‍රකාශ නිකුත් කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ.

ටිලර්සන්ට ඇහුන්කන් දෙන්න එපා -ධවල මන්දිරයේ ප්‍රතිචාරය -සෙබස්තියන් ගෝර්කා
ඡායාරූප ශීර්ෂ වැකිය, ටිලර්සන්ට ඇහුන්කන් දෙන්න එපා -ධවල මන්දිරයේ ප්‍රතිචාරය -සෙබස්තියන් ගෝර්කා

උතුරු කොරියාවත් සමඟ පවත්නා ගැටුම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නිරාකරණය කර ගැනීමේ ප්‍රයත්නය පළ දරමින් ඇති බවක් සිය ආරක්ෂක ලේකම්වරයා පසුගිය අගෝස්තු මාසයේ ප්‍රකාශ කරනු ලැබීමෙන් පැය කීපයකට පසු අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, 'උතුරු කොරියාවත් සමඟ ගනුදෙනු බේරා ගැනීම සඳහා සිය හමුදා පූර්ණ සූදානමින් සිටින' බවක් කියා සිටියේය.