උතුරු කොරියාව: "හරියන්නේ එක ක්‍රමයයි" -ට්‍රම්ප්

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලත් හෙයින් උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී "හරියන්නේ එකම ක්‍රමයක් පමණක්" බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් මෙම අනතුරු ඇඟවීම කරමින් ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත්තේ වසර 25ක් තිස්සේ ජනාධිපතිවරුන් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කර ඇති නමුත් ඉන් පලක් නොවූ බවය.

ඔහු ප්‍රකාශ කරන පරිදි "හරියන එකම ක්‍රමය" කුමක්දැයි ජනාධිපති ට්‍රම්ප් විසින් පැහැදිලි කරනු ලැබ නැත.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අරඹයා දෙරට අතර වාග් සංග්‍රාමයක් සිදුවෙමින් පවතින අතර උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම නතර කරන ලෙසට ඇමරිකාව බල කරමින් සිටී.

සිය හයවැනි න්‍යෂ්ටික පිපිරවීම හයිඩ්‍රජන් බෝම්බයක් යයි උතුරු කොරියාව පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය හයවැනි න්‍යෂ්ටික පිපිරවීම හයිඩ්‍රජන් බෝම්බයක් යයි උතුරු කොරියාව පවසයි

දුර විහිදුම් මිසයිලයකට සවි කළ හැකි හයිඩ්රජන් බෝම්බයක් මෑතකදී තමන් අත්හදා බැලූ බවත් එය සාර්ථක වූ බවත් උතුරු කොරියාව පවසයි.

ඇමරිකානු ජනතාවගේ සහ කලාපීය මිතුරන්ගේ ආරක්ෂාව පතා උතුරු කොරියාව විනාශ කර දැමීමට පවා තමන් සුදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණි.

'ප්යෝන්ග්යෑන්' පාලනය විනාශ කරන බවට තර්ජනය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හඳුන්වා දෙන ලද්දේ "සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදී සිටින රොකට් කාරයකු" හැටියටයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තර්ජනයට කිම් ජොන් අන් විසින් පිළිතුරු දෙන ලද්දේ "ගින්දර සමඟ සෙල්ලම් කරන වියරු මහල්ලා හීලෑ කර ගන්නැයි" කියා සිටිමිනි.

උතුරු කොරියානු න්‍යෂ්ටික පිපිරවීම පිළිබඳව සතුටට පත් රටවැසියන්

ඡායාරූප මූලාශ්‍රය, KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු න්‍යෂ්ටික පිපිරවීම පිළිබඳව සතුටට පත් රටවැසියන්

තමන් සතු න්‍යෂ්ටික අවි අගයමින් ඒවා තම ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා පවතින බව "බලසම්පන්න හමුදා ශක්තියක්" ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

එම වාර්තාවල තව දුරටත් සඳහන් වන්නේ තම න්‍යෂ්ටික අවි හේතුවෙන් "එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ න්‍යෂ්ටික තර්ජනයෙන් කොරියානු සහ ඊසානදිග ආසියානු කලාපයේ සාමය සහ ආරක්ෂාව" තහවුරු වන බව උතුරු කොරියානු නායකයා පැවසූ බවය.

උතුරු කොරියාව විසින් සිදු කරන ලද න්‍යෂ්ටික පිපිරවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ කඩ කිරීමක් බව චීනයත් පිළිගනියි.

ඒ අතරම 'යුදමය ප්‍රතිචාරයක් නොව සාමකාමී විසඳුමක් වෙනුවෙන්' පෙනී සිටින චීනය 'අර්ධද්වීපය ව්‍යාකූල හෝ යුදමය තත්වයකට ඇද වැටීමට ඉඩ නොතබන' බවත් කියා සිටියි.

'හ්වාසං - 12' බැලිස්ටික් මිසයිලය අත්හදා බලන ආකාරය නැරඹන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලන ආකාරය නැරඹන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

පසුගිය මාසය මුලදී උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයවැනි සහ මෙතෙක් ඔවුන් විසින් සිදු කරන ලද විශාලතම න්‍යෂ්ටික පිපිරවීමෙන් අනතුරුව උතුරු කොරියාවට එරෙහිව ගෙන ආ නව සම්බාධක මාලාවකට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබුණි.

එම සම්බාධක 'එකහෙලාම ප්‍රතික්ෂේප කරන' බව කියා සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින උතුරු කොරියානු තානාපති හැන්තායි සොන් (Han Tae Song) ඒවා විග්‍රහ කළේ 'නීතියට පටහැණි විසඳුම්' හැටියටයි.