වයස මාසයයි; කටේ දත් හතයි

"දරුවාගේ දත් හතක් සම්පූර්ණයෙන්ම එළියට ඇවිත් තිබුනා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "දරුවාගේ දත් හතක් සම්පූර්ණයෙන්ම එළියට ඇවිත් තිබුනා"

දින 30ක් පමණ වයසැති බිලිඳෙකුගේ මුඛයේ වැඩී තිබුණු දත් හතක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ බව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෛද්‍යවරු පවසති.

මෙම බිලිඳා ඉපදී දින කිහිපයක් අවෑමෙන් ඔහුගේ මුඛයේ දත් වැඩෙමින් පවතින බව වෛද්‍යවරු නිරීක්ෂණය කළහ.

දෙමාපියන් තම අලුත උපන් දරුවා රෝහල කරා ගෙන ගොස් ඇත්තේ මව් කිරි ලබාදීමට ඇති අපහසුතාව පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ය.

බිලිඳාගේ මුඛයේ විදුරුමස් අග සුදු පැහැ ගැන්වී තිබුණු හෙයින් වෙනත් වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබුණි.

"මම ඒ දරුවා පරීක්ෂා කළා. දරුවාගේ කටේ දත් හතක් වැදී ඇති බව මම නිරීක්ෂණය කළා" යැයි වෛද්‍ය මීත් රාමට්‍රි බීබීසී හින්දි සේවයට පැවසීය.

"ඇතැම් ළදරුවන්ගේ විදුරුමස අග සුදු පැහැ ගැන්වී දත්වල ආරම්භය දකින්න ලැබීම සාමාන්‍ය දෙයක්. ඒවා වැඩෙන්න කාලයක් ගතවෙනවා. නමුත් මේ දරුවාගේ දත් හතක් සම්පූර්ණයෙන්ම එළියට ඇවිත් තිබුනා" වෛද්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ශල්‍යකර්මයෙන් අනතුරුව බිලිඳා සුවය ලබා නිරෝගීව සිටින බව වෛද්‍යවරයා පවසයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ශල්‍යකර්මයෙන් අනතුරුව බිලිඳා සුවය ලබා නිරෝගීව සිටින බව වෛද්‍යවරයා පවසයි

ශල්‍යකර්මයේ පළමු අදියරේ දී දත් හතරක් ඉවත් කර ඇති අතර දෙවන අදියරේ දී ඉතිරි දත් තුන ඉවත් කර තිබේ.

අගෝස්තු මාසයේ දී සිදුකළ මෙම ශල්‍යකර්මයෙන් අනතුරුව බිලිඳා සුවය ලබා නිරෝගීව සිටින බව වෛද්‍යවරයා බීබීසී හින්දි සේවයට ප්‍රකාශ කර තිබේ.

මෙවැනි දෙයක් මින් පෙර තමන්ට දැනගන්නට ලැබී නැති නමුත් මෙය අසාමාන්‍ය තත්වයක් ලෙස සැලකිය යුතු නැති බව වෛද්‍යවරයා පවසයි.

"මේක සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියා දාමයක්. මේ අවස්ථාවේ දී එය නිසි කලට පෙර සිද්ධ වෙලා තියෙනවා" යැයි වෛද්‍ය රාමට්‍රි කියා සිටියේය.

නමුත් මෙම දත් ශක්තිමත් ලෙස නොපැවති හෙයින් ඒවා ඉවත් කිරීමට සිදු බව ඔහු පැවසීය.

වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ එක් දතක් බිඳී ගොස් තිබුණු අතර එය දරුවාගේ ශ්වාසනාලයේ සිරවූයේ නම් මාරාන්තික වන්නට ඉඩකඩ තිබූ බවය.

"සැත්කම කරන්නට පෙර එවැනි දෙයක් යළි නොවේවා කියල මම ප්‍රාර්ථනා කරමින් හිටියේ." ඔහු පැවසීය.

සැත්කමින් පසු දරුවාට මව්කිරි උරා බීමට හැකියාව ලැබී තිබේ.