මාස එකොළහක බිලිඳු දැරියගේ පැරිෂුට් ගමන
පොළොවේ සිට වාහනයක ආධාරයෙන් ඉහළට එසැවෙන කුඩා පැරිෂුටයක නංවා එකොළොස් මස් වියැති දැරියක තනිවම ගුවන් ගත කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ කේරලයෙන් වාර්තා විය.
මෙම ක්‍රියාව දැරියගේ ජීවිතය අනතුරේ හෙළීමක් බව පවසමින් කේරල පොලිසිය ඇයගේ දෙමාපියන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
අඩි හතළිහක් පමණ ඉහළින් මාස එකොළහක ළදැරියක ගුවනේ පා කර හරිමින් දෙමාපියන් සහ නරඹන්නන් විනෝදයක් ලැබුවත් දැරියගේ හැඬීම නතර වී තිබුණේ නැත.
කේරලයේ ළමා ආරක්ෂණ කොමිසම පවසන්නේ මෙම දෙමාපියන් ළමා අයිතීන් පිලිබඳ ප්‍රඥප්තිය උල්ලංඝණය කර ඇති බවයි.
චෝදනා ඔප්පු වුවහොත් ඔවුනට මාස හයක සිර දඬුවම් සහ දඩයකට යටත් වීමට සිදු වෙයි.
නමුත් දෙමාපියන් පවසන්නේ මේ එකොළොස් මස් වියැති ළදැරියට මෙම පැරිෂුට් ක්‍රීඩාව සඳහා මාස කිහිපයක පුහුණුව ලබා දී ඇති බවයි.
මෙම ස්ථානයේදීම මේ පැරිෂුට් ක්‍රීඩාවේ යෙදුණු වැඩිහිටියෙකු ද තුවාල ලැබූ බව පසුගිය දා වාර්තා විය.
මෙවැනි ක්‍රීඩා ඉසව් සඳහා නිසි නීති රීති මාලාවක් හඳුන්වා දීමේ වැදගත් කම ක්‍රියාධරයෝ පෙන්වා දෙති.