වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි

එළිමහනේ මුත්‍රා කිරීම සහ සිරුරු කිස සිදු කරනු ලැබීම ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය තත්වයකි.
ඡායාරූප ශීර්ෂ වැකිය, එළිමහනේ මුත්‍රා කිරීම සහ සිරුරු කිස සිදු කරනු ලැබීම ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය තත්වයකි.

තම නිවසට වැසිකිළියක් හදා දීමට අසමත් සැමියාගෙන් දික්කසාද වීමට අවසර ඉල්ලා සිටි ඉන්දියානු කාන්තාවකට ඒ සඳහා උසාවියෙන් අවසර ලැබුණි.

වයස අවුරුදු විසි ගණනක් වන එම කාන්තාව විවාහ වී වසර පහක් ගතව ඇති අතර එම කාලය තුළ සිරුරු කිස සඳහා එළිමහනට යන මෙන් ඇයට බල කරනු ලැබ ඇත.

ඉන්දියානු නීතිය අනුව දික්කසාදය දුෂ්කර කාර්යයක් වන අතර ඒ සඳහා අධිකරණයෙන් අවසර ලැබෙන්නේ ගෙදර දොරේ සිදු කෙරෙන ප්‍රචණ්ඩ පහර දීම් සහ කෲර ආකාරයට සලකනු ලැබීම වැනි චෝදනා ඔප්පු කරන ලදහොත් පමණි.

ශරීර කෘත්‍යය සම්බන්ධයෙන් බල කරනු ලැබීම වධ හිංසාවක් යයි අදාළ නඩුව විභාග කළ විනිසකරු පෙන්වා දුන් බව පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය AFP මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් සඳහන් කළාය.

සිරුරු කිස සඳහා වැසිකිළි නොමැති කමින් කාන්තාවන්ට එළිමහනේ එම කාර්ය සිදු කර ගැනීමට අඳුර වැටෙන තෙක් බලා සිටීමට සිදුව ඇතැයි ඉහත කී නඩුව විභාග කළ රාජස්තාන් ප්‍රාන්ත අධිකරණය ප්‍රකාශ කර ඇත.

පොදු වැසිකිළි පහසුකම් සලසා ඇති ස්ථානවල ජනතාව ඒවා පාවිච්චිය සඳහා හුරුකර ගැනීම දුෂ්කර කාර්යයකි.
ඡායාරූප ශීර්ෂ වැකිය, පොදු වැසිකිළි පහසුකම් සලසා ඇති ස්ථානවල ජනතාව ඒවා පාවිච්චිය සඳහා හුරුකර ගැනීම දුෂ්කර කාර්යයකි.

"අපි දුම්වැටි,මත්පැන් සහ ජංගම දුරකථන මිල දී ගැනීමට සල්ලි වියදම් කරනවා. ඒත් පවුලේ ගෞරවය රැකෙන මට්ටමින් වැසිකිළියක් හදා ගැනීමට සල්ලි වියදම් කරන්න ලෝබයි" යනුවෙන් අධිකරණය ප්‍රකාශ කළ බව 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත වාර්තා කරයි.

"ස්වභාව ධර්මය අනුව තීන්දු වී ඇති සිය ශාරීරික උවමනා ඉටුකර ගැනීමට ගම්බද පලාත්වල කාන්තාවන්ට ඉර බහින තෙක් බලාගෙන ඉන්න සිදු වෙලා තියෙනවා. මේක ශාරීරික මට්ටමින් සිදු කෙරෙන කෲර ක්‍රියාවක් විතරක් නොවෙයි, එය කාන්තාවකගේ විළිබිය නැති කිරීමක්" අධිකරණය එවැනි පණිවුඩයක් ද දෙන ලද බව 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත පවසයි.

ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව පැමිණිලිකාර කාන්තාව සිය දික්කසාද නඩුව 2015 වසරේ දී පවරා ඇත.

එළිමහනේ මුත්‍රා කිරීම සහ සිරුරු කිස සිදු කරනු ලැබීම ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය තත්වයකි.

2019 වන විට හැම පවුලකටම වැසිකිළි පහසුකම් සම්පාදනය කිරීමේ ඉලක්කයක් ඉන්දියානු ආණ්ඩුව විසින් පෙරට තබා ඇති නමුත් එම අරමුණ සපුරා ගැනීම අතින් අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇත.

භූමි සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට නිවසේ වැසිකිළි පහසුකම් නැත
ඡායාරූප ශීර්ෂ වැකිය, භූමි සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට නිවසේ වැසිකිළි පහසුකම් නැත

පොදු වැසිකිළි පහසුකම් සලසා ඇති ස්ථානවල ජනතාව ඒවා පාවිච්චිය සඳහා හුරුකර ගැනීම දුෂ්කර කාර්යයකි.

අසනීප බෝ විය හැකිය යන භීතිය නිසා ඇතැමෙක් පොදු වැසිකිලි පාවිච්චියට මැලි වෙති.

පොදු වැසිකිළි පාවිච්චියට ජනතාව හුරු කිරීම සඳහා ඉන්දියාවේ ඇතැම් පළාත්වල ජනතාවට ඒවා පාවිච්චිය වෙනුවෙන් මුදල් දෙන බවත් වාර්තා වෙයි.