යුද ජය සැමරීමට ඉරාක අගමැති මෝසුල් නගරයේ

IS කැරලිකරුවන් පරාජය කරමින් මෝසුල් නගරය ජයගත් ඉරාක හමුදාවට සුබ පැතීම සඳහා ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි මෝසුල් නගරයට පැමිණෙයි.
ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ "නගරය නිදහස් කරගත් බව සහ ඉරාක හමුදාව ජයගත් බව" නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා අගමැතිවරයා මෝසුල් බලා ගිය බවය.
මොසුල් නගරය මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව සටන ආරම්භ කළේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 17වැනිදා ය.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකයේ විශාල භූමි ප්‍රදේශයක බලය සියතට ගැනීමට පෙර මෝසුල් නගරය අත්පත් කර ගත්තේ 2014 වසරේ ජුනි මාසයේදී ය.
නමුත් ඉරාක හමුදා තම මෙහෙයුම් දැඩි කිරීමත් සමඟ පසුගිය මාස නවය ඇතුළත ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සැලකිය යුතු මට්ටමින් ඉරාක භූමිය අහිමිවෙමින් පැවතුනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රධාන බලකොටුවක් ලෙස පැවතුණු මෝසුල් නගරය දිනා ගැනීමට ඉරාක හමුදාවට මාස නවයක් ගතවිය.
පසුගිය ජනවාරියේදී මෝසුල් හි නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමට ඉරාක හමුදාවට හැකිවිය.
මෝසුල් මුදවා ගැනීම සඳහා IS කැරලිකරුවන්ට එරෙහිව ඉරාක හමුදාව යුද වැදී සිටියේ තනිවම නොවේ.
කුර්දි සටන්කරුවන්, සුන්නි මුස්ලිම් ගෝත්‍රිකයන් සහ ෂියා සටන්කරුවන් ද ඔවුනට එක්වී සිටියේය.
ඊට අමතරව ඇමරිකානු ඒකාබද්ධ හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා සහ යුද උපදේශකවරුන්ගේ ද සහාය ඉරාක හමුදාවට ලැබී තිබුණි.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අවසාන බළකොටුව ලෙස සලකනු ලැබුණේ මෝසුල් පැරණි නගරයයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙහි සාමාන්‍ය වැසියන් ලක්‍ෂයක් පමණ යුද්ධයට කොටුවී සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබුණි.
සහන සංවිධාන පවසන්නේ මෝසුල් සටන හේතුවෙන් 2014 පටන් නවලක්‍ෂයක් පමණ සාමාන්‍ය ජනතාව අවතැන්වී සිටින බවය.
කෙසේ නමුත් ඉරාක හමුදාව විසින් මෝසුල් නුවර ජය ගනු ලැබීම, ඉරාකය තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අවසානය ලෙස අර්ථ දැක්විය නොහැකි බව එහි සිටින වාර්තාකරුවෝ පවසති.
ඔවුන් කියා සිටින්නේ, ඉරාකයේ වෙනත් ප්‍රදේශවල තැනින් තැන IS කැරලිකරුවන් තවමත් ක්‍රියාත්මක වන හෙයින් ඉරාක හමුදාව යටතේ පවතින ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව IS සතුව ඇති බවය.








