මෝසුල් සටන: "සාමාන්‍ය වැසියන් ලක්‍ෂයක් යුද්ධයට කොටුවෙලා"

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෝසුල් පැරණි නගරයෙන් IS කැරලිකරුවන් පලවාහැර නැවත එය අත්පත් කරගැනීම සඳහා ඉරාක හමුදා දැඩි සටනක් ආරම්භ කර තිබේ.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අවසාන බළකොටුව ලෙස සැලකෙන්නේ මෝසුල් පැරණි නගරයයි.
ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙහි සාමාන්‍ය වැසියන් ලක්‍ෂයක් පමණ යුද්ධයට කොටුවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
හැකියාවක් වේනම් එම ප්‍රදේශයෙන් වහාම ඉවත්වන ලෙස එක්සත් ජාතීන් සාමාන්‍ය ජනතාවට දැනුම්දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NAFISEH KOHNAVARD
ඉරාක හමුදාව පවසන්නේ සාමාන්‍ය වැසියන් මරණයට පත්වීම අවම කර ගැනීම සඳහා තම හමුදා සටන් කරමින් පටු මංමාවත් ඔස්සේ ඉතා සීරුවෙන් ඉදිරියට ඇදෙන බවය.
ඉරාක ත්‍රස්ත විරෝධී සේවයේ ප්‍රකාශක සබා අල් නූමාන්, ඩුබායි හි අල් හදාත් රූපවාහිනී සේවයට කියා සිටියේ "දැන් පවතින්නේ වීදි සටන්. වටපිටාවේ තියෙන ගොඩනැගිලි එතරම් ශක්තිමත් නැහැ. ඒ වගේම මේක ජනාකීර්ණ නගරයක්. ඒ නිසා කාලතුවක්කු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර සීමා කරලා තියෙන්නේ." යනුවෙනි.
'ස්නයිපර්' තුවක්කුකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, NAFISEH KOHNAVARD
ඉරාක හමුදාව බීබීසී ලෝක සේවයට කියා සිටියේ මෝසුල් පැරණි නගරය තුළ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි තමන් නොදන්නා බවය.
මෝසුල් හි බටහිර ප්‍රදේශයේ පැවති සටනින් පසුගිය දෙසතිය ඇතුළත පමණක් සාමාන්‍ය වැසියන් 230 දෙනෙකු පමණ මරණයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
ඇතැමුන් ගුවන් ප්‍රහාර සහ මෝටර් වෙඩි ප්‍රහාරවලට හසුවී මිය ගිය අතර තවත් පිරිසක් මරණයට පත්වී ඇත්තේ එම ප්‍රදේශයෙන් පලායාමට තැත් කරද්දී IS 'ස්නයිපර්' තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ලක් වීමෙනි.
දිවි බේරාගෙන පලා ආ පිරිස් පවසන්නේ කොටුවී සිටින ජනතාව ආහාර සහ පානීය ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවය.
පවුල් තුනක කතාවක්

ඡායාරූප මූලාශ්‍රය, NAFISEH KOHNAVARD
මෝසුල් යුද්ධයට කොටුවී සිටින සාමාන්‍ය වැසියන් පිරිසක් පිළිබඳව බීබීසී පර්සියානු අංශයේ නෆිසේ කොනාවාඩ් විස්තර කළේ මෙසේය.
"පවුල් තුනක් පිළිබඳව තොරතුරු අප සතුව තියෙනවා. මේ පවුල් තුනම ජීවත් වෙන්නේ එකම නිවසේ. මේ නිවස ආසන්නයේම IS 'ස්නයිපර්' තුවක්කුකරුවෙක් සිටිනවා. මේ නිවැසියන්ට කන්න ආහාර නැහැ. බොන්න වතුර නැහැ.මේ පවුල්වල මහලු අය සහ මාස නවයක ගැබිණි මාතාවකුත් සිටිනවා.
ඔවුන්ගේ නිවසට ගුවනින් බෝම්බ දමයි කියල ඔවුන් ඉන්නේ බයෙන්. අවට නිවාස සියල්ලම බෝම්බවලට ගොදුරු වෙලා. අපි ඔවුන්ගේ ලිපිනය ලබා දුන්නා ඇමරිකානු ඒකාබද්ධ හමුදාවට. ඒ අවට බෝම්බ දැමීම වළක්වාගැනීම සඳහා. ෆෙඩරල් පොලිසියේ ද සහය ඇතිව ඔවුන් බේරා ගැනීමට සැලැස්මක් දියත් වුනා.
රැය පහන් වෙද්දී මේ පවුල්වල සාමාජිකයන් තමන්ගේ ජීවිත ගැන බලාපොරොත්තු අත්හැරලා හිටියේ. හිටි හැටියේම නිවස අද්දරට වැටුණු බෝම්බයකින් පලාතම දූවිල්ලෙන් වැසී ගියා. 'ස්නෛපර්' තුවක්කුකරුට නොපෙනෙන්නට එතනින් පලා යන්නට මේ නිවැසියන් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්ත."
සටනේ ආරම්භය

ඡායාරූප මූලාශ්‍රය, NAFISEH KOHNAVARD
මෝසුල් නගරය IS කැරලිකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව මෙම සටන ආරම්භ කළේ මීට මාස නමයකට ඉහතදී ය.
පසුගිය ජනවාරියේදී මෝසුල් හි නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමට ඉරාක හමුදාවට හැකිවිය.
ඉරාක හමුදාව මෙම සටන දියත් කර ඇත්තේ තනිවම නොවේ. කුර්දි සටන්කරුවන්, සුන්නි මුස්ලිම් ගෝත්‍රිකයන් සහ ෂියා සටන්කරුවන් ද ඔවුනට එක්වී සිටිති.
ඊට අමතරව ඇමරිකානු ඒකාබද්ධ හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා සහ යුද උපදේශකවරුන්ගේ ද සහාය ඉරාක හමුදාවට ලැබී තිබේ.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් මෝසුල් නුවර අත්පත් කර ගනු ලැබුවේ 2014 වසරේ ජුනි මාසයේදී ය.








