ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා?

ඉන්දියාවේ ජාතික සත්වයා - බෙංගාල ව්‍යාඝ්‍රයා
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ ජාතික සත්වයා - බෙංගාල ව්‍යාඝ්‍රයා

බෙංගාල ව්‍යාඝ්‍රයා ඉවත් කොට ඒ වෙනුවට ගවයා ඉන්දියානු ජාතික සත්වයා ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් උතුරු ඉන්දියාවේ උසාවියක් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

එම ඉල්ලීම කරන 'රාජස්තාන්' මහාධිකරණය, ගවයකු මරා දැමීම සඳහා දැනට නියම කෙරෙන අවුරුදු තුනක සිර දඬුවම යාවජීව දඬුවමක් බවට පත් කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතු බවත් කියා සිටියි.

උසාවියක් විසින් එවැනි ඉල්ලීමක් කරන ලද්දේ භාරතීය හින්දු ජනයාගේ පූජනීය සතකු වන ගවයාගේ තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ජාතික මට්ටමේ විවාදයක් පවතින මොහොතකයි.

ගව ඝාතනය සහ ගවමස් වෙළෙඳාමට පක්ෂව සහ විපක්ෂව ඉන්දියාවේ ප්‍රාන්ත රාශියක මේ දිනවල විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි.

ඉන්දියානු පූජනීය සත්වයෙක් - ගවයා
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියානු පූජනීය සත්වයෙක් - ගවයා

ගවයන් මස් පිණිස මරා දමනු ලැබීම සඳහා වෙළෙඳපොළේ විකිණීම තහනම් කරමින් ඉන්දීය ආණ්ඩුව පසුගියදා නියෝගයක් නිකුත් කළ අතර ගවමස් ව්‍යාපාරිකයෝ ඊට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෘෂිකාර්මික සහ කිරි නිෂ්පාදනයට හවුල් කර ගනු ලබන සතුන් ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බව ඉන්දියාවේ ආණ්ඩුව කියා සිටියි.

එහෙත් ගවමස් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් මෙන්ම කේරළ සහ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත ආණ්ඩු විසින් ද ආණ්ඩුවේ තහනමට එරෙහිව දැඩි විරෝධය පළ කරනු ලැබ ඇත.

ගවයා හින්දු දේව මණ්ඩලයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ගවයා හින්දු දේව මණ්ඩලයේ

ආණ්ඩුවේ ගවමස් තහනමට එරෙහිව තමිල්නාඩුවාසීන් දෙදෙනක් මහාධිකරණයට පෙත්සම් ගොණු කරමින් එම තහනම මගින් සුළුජන ආගමික නිදහස උල්ලංඝනය කෙරෙන බව කියා සිටි අතර එම පෙත්සම් සැලකිල්ලට ගත් අධිකරණය ආණ්ඩුවේ නියෝගය බල පැවැත්වීම මාසයකින් ප්‍රමාද කරන මෙන් නියෝග කළේය.

කුඩා සේසත් සහිත පෙරහැරින් වඩමවා ගෙන
ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩ කොඩි සේසත් සහිත පෙරහැරින් වඩමවා ගෙන

ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ තහනමට එළදෙනුන්, ගවයන් හා වෘෂභයන්, මීහරකුන් සහ ඔටුවන් ද ඇතුළත් වෙති.