පිලිපීනය යුද නීතියට යටත් කෙරෙන තත්වයක්

ජනාධිපති රොඩ්රිගෝ දුටාර්තේ (Rodrigo Duterte)
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති රොඩ්රිගෝ දුටාර්තේ (Rodrigo Duterte)

දකුණු පිලිපීනයේ මින්දනාඕ (Mindanao) දූපතට පමණක් සීමා වෙන මට්ටමින් පනවනු ලැබ ඇති යුද නීතිය මුළු රටටම බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත්කිරීමට ඉඩකඩ ඇති බව ජනාධිපති රොඩ්රිගෝ දුටාර්තේ (Rodrigo Duterte) කියා සිටියි.

පිලිපීන ආරක්ෂක හමුදා දකුණු "මින්දනාඕ" දූපතේ ඉස්ලාමීය සන්නද්ධ ප්‍රහාරකයන් සමඟ සටන් වදිමින් සිටියදී ජනාධිපති රොඩ්රිගෝ දුටාර්තේ එම දූපතට පමණක් බලපැවැත්වෙන මට්ටමින් අඟහරුවාදා (23)යුද නීතිය ප්‍රකාශයට පත් කළේය.

දින හැටක කාලයක් සඳහා දූපතට පමණක් සීමා කෙරෙන මට්ටමින් යුද නීතිය ප්‍රකාශයට පත්කළ ජනාධිපතිවරයා එය නිමවීමට වසරක් ගත විය හැකි බව දැන් පවසයි.

එහෙත් යුද නීතිය යටතේ අපචාර සිදු කිරීමට ඉඩ නොතබන අතරම තමා ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩිව පියවර ගන්නා බවත් පිලිපීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

"මින්දනාඕ දූපතේ තත්වය හොඳ අතට හැරුනොත් යුද නීතිය මාසයකින් වුනත් අවසන් වෙන්න පුළුවන්" ජනාධිපති රොඩ්රිගෝ දුටාර්තේ පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රොඩ්රිගෝ දුටාර්තේ, අලුතින්ම වාර්තා වෙන ගැටුම් වලදී ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියකු ගෙළ සිඳ මරා දමා ඇති බවත් සඳහන් කළේය.

මින්දනාඕ දූපත -පිලිපීන සිතියමේ දකුණු දෙසින්
ඡායාරූප ශීර්ෂ වැකිය, මින්දනාඕ දූපත -පිලිපීන සිතියමේ දකුණු දෙසින්

මේ අතර නිවේදනයක් නිකුත් කරන පිලිපීන කතෝලික සභාව, සන්නද්ධ ප්‍රහාරකයන් විසින් පූජකවරයකු ද ඇතුළුව පුද්ගලයන් ගණනාවක් ප්‍රාණ ඇපයට ගනු ලැබ ඇතැයි පවසයි.

"මින්දනාඕ" දූපතේ රඳවා සිටින පිලිපීන හමුදාව එම දූපතේ "මරාවි"( Marawi) නගරය අල්ලාගෙන සිටින IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට හවුල් සන්නද්ධ ප්‍රහාරකයන් සමඟ සටන් වදිමින් සිටිති.

මින්දනාඕ දූපතේ ආරක්ෂාව තර කරමින් හමුදාව මුර සංචාරයේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මින්දනාඕ දූපතේ ආරක්ෂාව තර කරමින් හමුදාව මුර සංචාරයේ

එම ගැටුම් වලදී හමුදා භටයන් තුන්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.